Home අද ජනාධිපති සමාවෙන් පසු අතුරුදහන් කියූ “අතුල” : අනුරාධපුර මහාධිකරණයෙන් මතුවෙයි !

ජනාධිපති සමාවෙන් පසු අතුරුදහන් කියූ “අතුල” : අනුරාධපුර මහාධිකරණයෙන් මතුවෙයි !

117
0

අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් විදිමින් සිටියදී ජනාධිපති පොදු සමාව යටතේ මුදා හරින ලද ඩබ්.එම්. අතුල තිලකරත්න නැමති විත්තිකරු ඔහුට එරෙහිව පවතින වෙනත් නඩුවක් සඳහා අද (ජූනි 11) අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේ ය. ඒ, සිය නීතිඥ සුරංග මොහොට්ටි මගිනි.

තමාට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති එම නඩුව අවසන් වීමෙන් පසුව, විත්තිකරු අනුරාධපුර මහාධිකරණයේ පැවති, ‘ජනපති පොදු සමාව යටතේ බව කියමින් තමාට නිදහස් වී යාමට අදාළ ලිපිය නිකුත් කිරීමේ සිද්ධියට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහිව පවතින එච්සී/69/2108 අංක දරන නඩුව කැඳවූ අවස්ථාවේදී එය දැක බලා ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත අධිකරණ ශාලාවට පැමිණ සිටියේ ය.
එහිදී අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාත්න වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල අධිකරණය හමුවේ කරුණු දක්වන අතරතුර විශේෂයෙන් ප්‍රකාශ කර සිටියේ, තම සේවාදායකයා වන අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා, විත්තිකාර ඩබ්.එම්. අතුල තිලකරත්න යන අය නිදහස් කිරීමට පියවර ගෙන ඇත්තේ නිත්‍යනුකූලව බව ය.

එය වඩා ත් තහවුරු වන්නේ, ප්‍රශ්නගත විත්තිකාර අතුල තිලකරත්න යන අය මේ අවස්ථාවේ මෙම අධිකරණයේ පෙනී සිටින නිසා බව යැයි නීතිඥවරයා පැවසීය.

නීතිඥවරයා ඒ බව ප්‍රකාශ කරන මොහොතේ විත්තිකාර අතුල තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සිටි විවෘත අධිකරණ ශාලාවේ සිට අතක් ඔසවමින් තමා අධිකරණයේ සිටින බව මහේස්ත්‍රාත්වරයාට දැන්වීය.

විත්තකාර අතුල තිලකරත්නගේ නීතිඥ සුරංග මොහොට්ටි ද අධිකරණයට කරුණු දන්වමින් කියා සිටියේ, තම සේවාදායකයා ඔහුට එරෙහිව ඇති වෙනත් නඩුවකට පෙනී සිටීම සඳහා අද (ජූනි 11) දින අනුරාධුපර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි බව ය. මේ මොහොතේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ද ඔහු සිටින බව පැවසූ නීතිඥවරයා සිය සේවාදායකයා මෙලෙස ප්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පෙනී සිටින්නේ, ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ පැවති එච්සී/69/2018 අංක දරන නඩුවෙන් නිත්‍යනුකූලව නිදහස්ව සිටින නිසා බව ද ප්‍රකාශ කළේ ය.

විත්තිකාර අතුල තිලකරත්න අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාගේ නඩුවට පෙනී සිටීම සඳහා එම අවස්ථාවේ පැමිණ විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාගේ නඩුව අවසන් වීමෙන් අනතුරුව විත්තිකාර අතුල තිලකරත්න තම මිතුරන් සමග අධිකරණ භූමියේ කතා බස් කරමින් සිට පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසලින් ම අධිකරණ භූමියෙන් පිටව ගියේ ය.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරී මොහාන් කරුණාරත්න ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස නීතිඥයින් කළ ඉල්ලීම දෙවන වරටත් ප්‍රතික්ෂේප කරමින් සැකකරු ජූනි 13 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය නියෝග කළේ ය.

නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් පැවසුවේ, ඩබ්.එම්. අතුල තිලකරත්න නැමති විත්තිකරුගේ නම ජනාධිපතිවරයා විසින් වෙසක් පොහොය දිනයේ ජනපති පොදු සමාව යටතේ නිදහස් කළ සිරකරුවන්ගේ නාම ලේඛනයේ නොමැති බව ය.

ජනපති පොදු සමාව ලබා දීමට සුසුසුකම් ලබා ඇති සිරකරුවන්ගේ නාම ලේඛනයක් දිවයිනේ සෑම බන්ධනාගරයකින් ම ජනාධිපතිවරයා වෙත ගෙන්වා ගන්නා බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ පැවසුවා ය.

ඇය පෙන්වා දුන්නේ, එම ලේඛනය ඒ ඒ බන්ධනාගාරවල අධිකාරිවරුන් සිය අත්සනින් බන්ධනගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යැවිය යුතු බවත් පසුව බන්ධනගාර කොමසාරිස් ජනරාල්වරයා අදාළ ලේඛනය අත්සන් කර අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා වෙත යැවිය යුතු බව ත් ය.

අනතුරුව අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ ලේඛනය අත්සන් කර ජනාධිපති ලේකම්වරයා මගින් ජනාධිපතිවරයා වෙත යොමු කළ යුතු බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පැවසුවා ය.

ඒ අනුව, ජනපති සමාව යටතේ නිදහස් කළ යුතු බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා යවා ඇති ලේඛනයේ ඩබ්.එම්. අතුල තිලකරත්න නමැත්තාගේ නම සඳහන්ව නැති බව අවධාරණය කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එම පිළිවෙළට ම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ද අනුරාධපුර බන්ධනාගාරය වෙත එවා ඇති ජනපති පොදු සමාව ලබා දිය යුතු සිරකරු නාම ලේඛනයේ අතුල තිලකරත්නගේ නම සඳහන්ව නැති බව ද පැවසුවා ය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ, මෙය චේතනාන්විතව ම සිදු කළ අපරාධමය වරදක් බවට සැක කරන බව ය.

ජනපති පොදු සමාව ලබා දෙමින් අනුරාධපුර බන්ධනාගාරයට එවා ඇති ලේඛනයේ ඩබ්.එම්. අතුල තිලකරත්න යන අයගේ නම නැතත්, අනුරාධපර බන්ධනාගාරයේ සිරකරු ලේඛනයේ ඩබ්.එම්. අතුල තිලකරත්නගේ නම ඉදිරියෙන් සැකකාර අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා විසින් “නිදහස්” යනුවෙන් සලකුනු කොට සිය අත්සන තබා ඇති බව ත් ඇය පැවසුවාය ය.

පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව ද අවධාරණය කළ අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත්, ඉන් බැහැරව සිරකරුවන් නිදහස් කිරීමට හෝ නිදහස් කිරීමට අනුමැතිය දීමට කිසිවෙකුට බලයක් නැති බව ද කීවා ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුටරත් විමර්ශන සිදු කෙරෙන බැවින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල පැවසුවේ, වෙසක් පොහොය දා ජනපති පොදු සමාව ලබා දුන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරු නාම ලේඛනයේ ඩබ්.එම්. අතුල තිලකරත්නගේ නම ඇතුළත් නොවන බව පිළි ගන්නා බව ය.

එහෙත් මීට වසර කිහිපයකට පෙර අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයක සඳහන් නීතිමය ප්‍රතිපාදන මත, තම සේවාදායකයා අතුල තිලකරත්න යන අය නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් කළේ ය.

අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව සිරකරුවෙකු නිදහස් කරමින් රාජකාරියක් කළ තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළේ නම්, අදාළ චක්‍රලේඛය නිකුත් කළ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල අධිකරණය හමුවේ පැවසීය.

මෙතන සිදුව ඇත්තේ, ජනාධිපති පොදු සමාව සහ ජනාධිපති විශේෂ පොදු සමාව පටලවා ගැනීමක් මෙන් ම චක්‍රලේඛ වැරදිසහගත ලෙස වටහා ගැනීමක් බව ද ඔහු සඳහන් කළේ ය.

මෙම කරුණු සැලකිල්ලට ගෙන තම සේවාදායකයා ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස නීතිඥවරයා එහිදී අධිකරණයෙන් අයැද සිටියේ ය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සමග නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් පෙනී සිටි අතර, සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල සමග නීතිඥවරුන් වන කාලිංග රවීන්ද්‍ර, නලීන් දිමුතු බංඩාංර, මදාරා විජේසිංහ, චතුර ධනංජය රණතුංග, සංජය රත්නායක, සුනන්ද තෙන්නකෝන් සහ සුසිල් සිරිවර්ධන යන නීතිඥවරු කණ්ඩායමක් පෙනී සිටියහ.

කූඨ ලේඛනයක් සකස් කිරීම, සිරකරුවෙකුට පළා යාමට ආධාර අනුබල දීම සහ රජය අපකීර්තියට පත් කිරීම යන චෝදනා යටතේ සැකකාර අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ඔහු අද දින නඩු විභාගය සඳහා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේ මහනුවර පල්ලෙකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයේ සිට ය.

අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවති එච්සී /69/2018 අංක දරන නඩුවේ විත්තිකාර ඩබ්.එම්. අතුල තිලකරත්න නමැත්තාට පසුගිය වෙසෙන් පොහොය දින ජනපති පොදු සමාව ලබා දී ඇති බවට තම අත්සනින් යුතුව ලේඛනයක් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර, එම විත්තිකරු ඔහුට එරෙහිව තිබූ නඩුවෙන් නිදහස් කර මුදා හැරීමට ඉඩ සැලැස්වූ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු ඉකුත් 8 වන දා අත්අඩංගුවට ගැනිණි.

බීබීසී – සිංහල

Previous articleපළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී සජබ මන්ත්‍රීවරුන්ට ලිඛිත දැනුම් දීමක්!
Next articleඉන්දු- ශ්‍රීලංකා ගිවිසුම් 7 ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here