Home අද සීවලී අකුරුගොඩ අත්අඩංගුවට ගන්න: ගම්මන්පිලගෙන් ලිඛිත ඉල්ලීමක් !

සීවලී අකුරුගොඩ අත්අඩංගුවට ගන්න: ගම්මන්පිලගෙන් ලිඛිත ඉල්ලීමක් !

212
0

රට තුළ ආන්දෝලනයට තුඩු දී ඇති කන්ටේනර් 323 තුළ කිසිදු අවි ආයුධයක් නොතිබූ බවට ප්‍රකාශ කළ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පොලිසිය වෙතින් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

මෙම බහලුම් නිදහස් කිරීමට තීරණය කළ කමිටුවේ සභාපතිවරයා වන ඔහු නොවැම්බර් මාසයේ විශ්‍රාම යාමෙන් පසු බෙල්ජියමේ රැකියාවකට යාමට නියමිත බවද සිය පැමිණිල්ල මඟින් පෙන්වාදී ඇති හිටපු මන්ත‍්‍රීවරයා එම නිසා වහාම ඔහු විදෙස් ගත වීම වළක්වාලමින් උසාවි නියෝගයක් ලබා ගන්නා ලෙසද ඉල්ලා ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව මාධ්‍යට දන්වා සිටියේ ප්‍රශ්නගත බහලුම් නිදහස් කිරීම සම්බන්ධ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (09 වැනිදා) පැය තුනක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එලෙස ඔහු විදෙස් ගත වුවහොත් අර්ජුන් මහේන්ද්‍රන් විදෙස් ගත වීමෙන් මහ බැංකු බැදුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කඩාකප්පල් වූ ආකාරයටම මෙම විමර්ශනයද කඩාකප්පල් වීමේ හැකියාවක් පවතින බවද හෙතෙම කිවේය.

එහිදී හිටපු මන්ත්‍රිවරයා මෙසේද කීය.

“රේගු නිලධාරීන් චෝදනා නගන විදිහට බහලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කර ගැනීම සඳහා දෙසැම්බර් මස මුල වරායේ කෘත්‍රිම බරපතළ බහලුම් තදබදයක් ඇති කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට දෙසැම්බර් 13 වැනිදා ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරනවා මේ බහලුම් තදබදය විසදීමට කෙටි කාලින විසඳුම් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරන්න බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන්න. මේ කමිටුව පත් කරලා අමාත්‍ය මණ්ඩල ලේකම් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්ට දැනුම් දෙනවා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා කමිටුවේ යෝජනා ඇමැති මණ්ඩලයට එවන්න කියලා. ඇමැතිවරයාට බලයක් දීලා තියෙනවද ගැටලුව විසඳන්න? නැහැ. විසඳුම් යෝජනා අමාත්‍ය මණ්ඩලයට එවන්න තමයි කමිටුව පත් කළේ. ඇමැතිවරයා තමන්ගේ බලය ඉක්මවා ගිහින් රේගු අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග දෙනවා. වරාය භාර ඇමැතිවරයාටවත්, රේගුව භාර මුදල් ඇමැතිවරයාටවත් පනත හරහා බලයක් දීලා නැහැ රතු ලේබල් සහිත බහලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කරන්නැයි කියලා රේගු නිලධාරීන්ට නියෝග කරන්න. කොහොම හරි ජනවාරි මාසයේ 17,18 යන දින දෙකේම රතු සහ කහ ලේබල් සහිත බහලුම් විශාල සංඛ්‍යාවක් නිදහස් වෙනවා. රේගුවේ නිෂ්කාශන නිර්ණායක අනුව බහලුම් වර්ග 4ක් තියෙනවා. කොළ පාට බහලුම් කිසිම පරීක්ෂාවකින් තොරව නිදහස් කරනවා. නිල් පාට බහලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කරනවා. නමුත් අදාළ ස්ථානයට ගිහින් පරික්ෂා කරන්න පුළුවන්. කහ පාට බහලුම් ලේඛන පරීක්ෂාවට ලක් වෙනවා. ඉන් අවශ්‍ය වුණොත් භාණ්ඩ පරික්ෂාවටත් යන්න පුළුවන්. රතු පාට ලේබලය සහිත බහලුම් අනිවාර්යෙන්ම පරීක්ෂාවට ලක් විය යුතුය. ඊයේ රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය හමුවක් කැඳවමින් කියනවා අපිට කවදාවත් සියයට සියයක් පරීක්ෂා කරන්න බැහැ. සියයට 60ක් කොහොමත් පරීක්ෂාවකින් තොරව තමයි නිදහස් වෙන්නේ කියලා. කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර තමයි දෙන්නේ. අපි කොතනකවත් කියන්නේ නැහැ සියල්ල පරික්ෂා කළ යුතුයි කියලා. අපිට ගැටලුව පරික්ෂාවට ලක් විය යුතු රතු පාට ලේබල් සහිත බහලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම.

මෙම බාහලුම් නිදහස් කළ නිලධාරීන් මිට පෙර වැරදි කරපු අයද යන්න පිළිබඳව මම තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලුවා. හැබැයි රේගුව විසින් මට ලැබුන උත්තරය තමයි ඔබ ඉල්ලන තොරතුරු වර්තමානයේ රේගුව සතුව නොමැත. ඒ කියන්නේ තිබ්බා දැන් නැහැ කියලා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සඳහා උත්තර දෙන්න ඕන. මෙම බහලුම් 323 නිදහස් කිරීමට තීරණය ගත්ත කමිටුවේ සභාපතිවරයා තමයි පෙරේදා (08 වැනිදා) මාධ්‍ය ඉදිරියට ඇවිත් කතා කරපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ. ඔහු නොවැම්බර් මාසයේ විශ්‍රාම ලැබීමට නියමිතයි. ඉන්පසු බෙල්ජියමේ රැකියාවකට යාමට නියමිතයි. එතුමා එලෙස විදෙස් ගත වුවහොත් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබද විමර්ශනය අර්ජුන් මහේන්ද්‍රන් විදෙස් ගත වීමෙන් කඩාකප්පල් වුණ ආකාරයටම මෙම විමර්ශනයත් කඩාකප්පල් වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා වාහම සීවලී අරුක්ගොඩ විදෙස් ගත වීම වළක්වාලමින් උසාවි නියෝගයක් ලබා ගන්නා මෙන් ඊයේ (09 වැනිදා) මම ලිඛිතව පොලිසියෙන් ඉල්ලීමක් කළා

Previous articleDearo Investment සමාගම BWIO සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි
Next articleමහා මහේන්ද්‍ර ප්‍රසාදිනි ජනාධිපති අනුර කුමාර දිසානයක !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here