බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව වාර්තා වෙයි. ඒ ජනාධිපති සමාව යටතේ පසුගිය වෙසක් පොහෝ දින නිදහස් කළ සිරකරුවන්ගේ නාමලේඛනයේ නම් සඳහන් නොවූ සිරකරුවන් ද නිදහස් කර ඇති බවට එල්ලවන චෝදනාව පදනම් කරගෙනය.
අනුරාධපුර බන්ධනාගාරයේ සිටි මූල්‍ය වංචාවක් සම්බන්ධව වැරදිකරුවකු වූ සිරකරුවෙකු දඬුවම් ලබා දින 10ක් තුළ ජනාධිපති සමාව ලබා නිදහස ලබා ඇති බවට මාධ්‍ය අනාවරණය කිරීමෙන් පසුව ඒ පිළිබඳව මහත් ආන්දෝලනයක් ඇති විය. විශේෂයෙන් සමාජ මාධ්‍ය මේ සම්බන්ධව ආණ්ඩුවට බරපතළ විවේචන එල්ලවීමත් සමඟ ජනාධිපති කාර්‍යාලය විසින් ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද සිදුකළේය.
එසේම ජනාධිපති මාධ්‍ය අංශයද නිවේදනයක් නිකුත්කරමින් ප්‍රශ්නගත නිදහස ලැබීමට අදාළ සිරකරු වූ අතුල තිලකරත්න ගේ නම ජනාධිපතිවරයා වෙත එවූ ලේඛනයේ නොතිබූ බව අවධාරණය කර සිටියේ ය.
කෙසේවෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද මීට අදාළ නිවේදනයක් නිකුත්කළ අතර එහිදී මෙම ප්‍රශ්නගත සිදුවීම සාධාරණීකරණය කර තිබිණ.
මේ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව මෙකී විමර්ශනයට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගෙන් දෙවරක් කැඳවා ප්‍රශ්න කර තිබෙන අතර අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරීවරයා ඊයේ (08) අත්අඩංගුවට ගෙන අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද වාර්තා විය.
එසේ වුවද අද දිවයින පුවත්පත වාර්තා කර තිබුණේ, ජනාධිපති සමාව අවභාවිතා කර දරුනු සිරකරුවන් 20ක් පමණ නිදහස් කර ඇති බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධව ඇති ව්‍යාකූල තත්ත්වය තවමත් පහවගොස් නැත.