Home අද ගිවිසුමට අනුව වැඩ කරනවාද නැද්ද අහන්න : IMF දෙවැනියා ලංකාවට ! විදුලි...

ගිවිසුමට අනුව වැඩ කරනවාද නැද්ද අහන්න : IMF දෙවැනියා ලංකාවට ! විදුලි බිලත් 30%කින් වැඩි වෙයි වගේ !

189
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර ශ්‍රී ලංකා රජය පොරොන්දු වූ ගිවිසුමේ කරුණු අනුව කටයුතු කරන්නේද යන්න ඇතුලු වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් සඳහා IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ජනාධිපතිවරයා සමඟ මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව සමඟද විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇති බවද දැනගන්නට තිබේ.

මෙහිදී නිෂ්පාදන පිරිවැය ආවරණය වන ආකාරයට විදුලි මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මූලික අවධානය යොමුවනු ඇති බවද වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකරයට ලංකාව සම්බන්ධයෙන් පත්කොට සිටින මූල්‍ය අරමුදලේ නව ප්‍රධානියා වන ඉවාන් පපාජියෝර්ජියෝ සමඟ වත්මන් ආණ්ඩුව යම් මතගැටුමක් නිර්මාණය කොටගෙන ඇති බවද වාර්තා වෙයි.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ සඳහා බලපා ඇති ප්‍රධාන හේතුව වී තිබෙන්නේ මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට 4 වැනි වාරිකය මුදාහැරීමට කටයුතු කළ යුතුව තිබුණද මෙතෙක් එය නිදහස් කිරීමට පියවර ගෙන නොතිබීමය.

ඒ සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබෙන්නේ විදුලි බිල පිරිවැය සමඟ නොගැළපීම ඇතුළු කරුණු කිහිපයක් ඊට බලපා ඇති බවය.

මෙවැනි කරුණු සම්බන්ධව මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කලද මෙවර එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකෙරේ.

ඒ අනුව සිවුවැනි වාරිකය නිදහස් කිරීමට නම් මූලික කොන්දේසි අනිවාර්යයෙන් ඉටුකළ යුතු බවට වූ ස්ථාවරයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුවන බව දැනගන්නට ඇත.

මෙහිදී විදුලි බිල පිරිවැය සමඟ ගැළපීමේදී රජය පාර්ශ්වය වෙතින් යෝජනා කර ඇති 18%ක මිල ප්‍රමාණයට මූල්‍ය අරමුදල සිය එකඟතාව පළකොට නොමැති බවත්, ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ 30%කට ආසන්න ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ දැමිය යුතු බවත් වාර්තා වෙයි. එමෙන්ම අනෙකුත් කොන්දේසි සම්බන්ධයෙන්ද මූල්‍ය අරමුදල මේ වනවිට දැඩි ස්ථාවරයක සිටින බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

Previous articleපොසොන් පොහෝදා ජනපති ජර්මනියේ !
Next articleඅනුරාධපුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here