Home අද නැගෙනහිර පර්‍යන්තය ගැන වරාය පාලනාධිකාරියෙන් ආණ්ඩුවට නැව් කඹයක් දීලා !

නැගෙනහිර පර්‍යන්තය ගැන වරාය පාලනාධිකාරියෙන් ආණ්ඩුවට නැව් කඹයක් දීලා !

110
0

ජුනි 30 වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකියාව ඇති බවට වරාය පාලනාධිකාරිය ආණ්ඩුවට දැනුම්දී තිබුණත් එවැන්නක් සඳහා කොහෙත්ම ඉඩක් නොමැති බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය අවධාරණය කරයි.

තම අත්දැකීමට අනුව නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තවත් වසර එකහමාරක කාලයක් ගතවනු ඇති බවද ඔවුන් පවසයි.

වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය මේ බව සඳහන් කර සිටියේ පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

වරාය කළමනාකාර අධ්‍යක්ෂ හා කළමනාකාරීත්වයේ අකාර්යක්ෂමතාව ද මෙහිදී අවධාරණය කෙරිණ.

එහිදී වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමල් සුමනරත්න මෙසේ පැවසීය.

“නව රජය යටතේ වරාය අධිකාරීයට පැමිණි කළමනාකාරීත්වය නැගෙනහිර පර්යන්තයේ අත්‍යවශ්‍ය මෙහෙයුම් උපකරණ තොගය වන ස්ට්‍රැඩල් කැරීයර් (Straddle carrier) මිල දී ගැනීමට ටෙන්ඩර් ප්‍රදානය කිරීම අවලංගු කළා. ඒක අවලංගු කරලා මාස 08ක් ගත වුණත් ආපහු ටෙන්ඩර් දැන්වීමක් පළකරේ නෑ. නැගෙනහිර පර්යන්තයට මේ දොඹකර 30ක් ඕනෑ. ටෙන්ඩර් ප්‍රසිද්ධ කිරීමේ ඉඳලා ස්ට්‍රැඩල් කැරීයර් නිෂ්පාදනය කර මෙරටට ලැබීමට අවම වසර එකහමාරක කාලයක් ගත වෙනවා. ඒ නිසා නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ මෙහෙයුම් ආරම්භ කරන්න තවත් පරක්කු වෙනවා. මේකෙන් පේනවා මේ කළමනාකාර අධ්‍යක්ෂතුමාගේ හා කළමනාකාරීත්වයේ අකාර්යක්ෂමතාව. දුම්රිය දෙපාර්තමේන්තුව හා අනෙකුත් බොහෝ ආයතනවල මෙන් වරාය අධිකාරියේ ප්‍රධාන තනතුරුවල වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ අත්දැකීම් රහිතවීම අකාර්යක්ෂමතාව මත නව දේශපාලනාධිකාරිය බලාපොරොත්තු වන ඉලක්කවලට වරාය අධිකාරීයට ළඟාවීමට පුළුවන් වෙන්නේ නැහැ.”

මේ අතර, ආණ්ඩු බලය ලබාගත් සහෝදරවරු වෘත්තීය සමිති නායකයන් ස්ථාන මාරු කර එම පිරිස් මර්දනය කිරීමට කටයුතු කරන බව එම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සම කැඳවුම්කරු ඉන්දික මහේෂ් සමරවික්‍රම සඳහන් කළේ ය. ඒ අනුව, තම වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කාරවරයාට ඉදිරීපත් කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවද හෙතෙම අවධාරණය කළේ ය. නැගෙනහිර පර්යන්තයේ ප්‍රධාන ටෙන්ඩරය හිතාමතා නතර කිරීමක් හෝ මේ වන විටත් ඒ පිළිබඳ සාකච්ඡාවක් නොමැති වීම ගැටලුසහගත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.මේ අතර, එහිදී අදහස් දැක්වූ ජාතික සේවක සංගමයේ සභාපතිනි එල්.එම්. තුෂාරී ප්‍රියංගා මෙසේ පැවසුවාය.

“පහුගිය කාලේ වීරයෝ වුණු වෘත්තිය සමිති නායකයෝ බයේ දැන් හැංගිලා. පාලන බලයක් නැති කාලේ අපේ වෘත්තීය සමිති අයිතිය රැක්කා. දැන් මේ පිරිස දෙතුන් දෙනකුගේ වුවමනාවට වැඩ කරන්නේ. වරායේ ඉන්න දෙතුන් දෙනකුගේ වුවමනාවට අපිව එහාට මෙහාට මාරු කරනවා. විනය ක්‍රියාමාර්ග ගන්නවා. සමහර පාලකයෝ වෘත්තීය සමිති පනතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නේ නැහැ. අපේ කටවල් වහන්න එයාලට බැහැ”

Previous articleමූල්‍ය වංචාකරුට නිදහස දීම : ජනාධිපති කාර්‍යාලය CID යයි ! – නමෙත් දෝෂයක් !
Next articleරිලා රැඳවුම් මධ්‍යස්ථානයක් සමඟ රිලවියන්ට ලූප් දාන සූදානමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here