Home අද නලින්ද බොළඳයි – සෞඛ්‍ය වර්ජනය අදත් ක්‍රියාත්මකයි !

නලින්ද බොළඳයි – සෞඛ්‍ය වර්ජනය අදත් ක්‍රියාත්මකයි !

107
0

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් ඊයේ (05) ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දිනද ක්‍රියාත්මක බව වාර්තා වෙයි.

සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේදී මතුව ඇති ගැටලු සහ උසස්වීම් ඇතුළු කරුණු 5ක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ඊයේ (05) උදෑසන 8.00 ට ආරම්භ කළ අතර ඊට වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 5ක් එක්වූ බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

කෙසේවෙතත් පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු විශේෂිත ආයතනවල වර්ජනය ක්‍රියාත්මක නොකළ බවද ඔවුන් පවසයි.

එසේම රෝහල් තුළ හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කළ බවද වර්ජකයින් සඳහන් කළේය.

අදාළ ඉල්ලීම් පදනම් කරගෙන අදාළ වෘත්තීය සමිති පසුගිය 27 වනදාද සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ නමුත් ඒ වනවිට විදේශගතව සිටි බැවින් සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනට පැමිණි පසු සාකච්ඡාවක් ලබාදෙන බවට සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් පොරොන්දුව මත එකී වර්ජනය අත්හිටුවා තිබිණ.

මේ අතර ඊයේ යළි වර්ජනය කැඳවා තිබෙණුයේ පොරොන්දු වූ පරිදි මේ වනතෙක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අදාළ සාකච්ඡාව ලබානොදුන් බව පවසමිනි.

වැඩට ආවොත් කතා කරනවා – නලින්ද

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ වර්ජනය තනිකරම දේශපාලන අරමුණ වෙනුවෙන් කරන වැඩක් බවත්  හැමදාම මේක සෙල්ලමක් කරගෙන මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩාකප්පල් කරන්න හිතාගෙන සිදුකරන්නක් බවයි.

ඒ සම්බන්ධව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පවසා සිටියේ ය.

“මේක සෙල්ලමක් නෙමෙයි. සතිකයට දෙකකට හැමදාම පැය 24, පැය 48 වර්ජන පටන් අරගෙන. මේකට මූණදෙන්න අපි ලෑස්තියි. කරුණාකරලා වැඩට එන්න. වැඩට ආවට පස්සෙ සාකච්ඡාවට සූදානම්”.

සෞඛ්‍ය ඇමති බොළඳයි – රවී කුමුදේශ්

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයාට ප්‍රතිචාර දක්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති, රවි කුමුදේශ් මෙසේ සඳහන් කළේය.

“නලින්ද ජයතිස්ස ඇමතිවරයාගේ ප්‍රතිචාර ටිකක් විතර බොළඳයි. එයා හොඳ කථා කාරයෙක් නිසා, අපි ලෑස්තියි ප්‍රසිද්ධ සංවාදයකට වුණත් එන්න. වට මේස සාකච්චා මගහරිමින්, එයා කියන ඒවා සාධාරණනං මහ ජනතාව ඉදිරියේ කරුණු දක්වන්න බැරිකමක් නෑනේ.

අපිට වට මේස සාකච්ඡාවක් දෙන්න බැරිනම් අපි නලින්ද ජයතිස්සට ආරාධනා කරනවා ප්‍රසිද්ධ සංවාදයකට ඇවිත් අපි වැරදි කියන එක පෙන්නන්න. මේක දෙන්න බැරිනම් අඩුගානෙ මේක දෙන්න බැරි හේතුව අදාල පාර්ශ්වකරුවන් ගෙන්නල කියන්න පෞරුෂයක් තියෙන්න ඕන.

දැන් නලින්ද ජයතිස්ස ඇමැතිවරයාට ඕන කොතලාවල ඉන්න අයට වැඩි චාන්ස් එකක් දෙන්නනම් ඒකත් කර ගන්න පුලුවන්. ආන්ඩුවේ ප්‍රතිපත්ති දෙකක් මේ සම්බන්ධයෙන් තියෙන බව පැහැදිලියි.

නලින්ද ජයතිස්ස ඇමතිවරයා ටිකක් බොළඳ ස්වරූපයෙන් වැඩ කරන බවක් පේනවා. වටමේස සාකච්ඡාවට එන්න බැරිනම් ප්‍රසිද්ධ මාධ්‍යයක විවාදයකට එන්න අපිත් එක්ක.

ඔබ කියන කාරණා තහවුරු කරන්න. ඔබ හොද කථිකයෙක්. රටම පිළිගත්ත කෙනෙක්. පාර්ලිමේන්තුවේ හොද කථිකයෙක්. කැබිනට් මන්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකයා, ඔබට බැරිනෑනෙ අපිත් එක්ක සාකච්ඡා කරලා ජයග්‍රහණය කරන්න. අපි අනවශ්‍ය අරගලයක් කරන්නෙ කියලා පෙන්නන්න.

මේ ඕනෑම ක්‍රමයකින් අපි කියන්නේ පාර්ශවකරුවෝ එක්ක කතා කරලා විධිමත් ක්‍රියා මාර්ගයකට යන්න කියන එක. එහෙම නැති වුනොත් අපිට වර්ජනය කරන්න වෙනවා. වර්ජනයෙදි මිනිස්සු අසරණ වෙනවා. රෝගීන්ට පීඩාවක් ඇති වෙනවා. අපි අපේ මට්ටමෙන් පුලුවන් තරම් ගැටලු විසදා ගනිමින් මේ ක්‍රියා මාර්ගවලට යනවා.

හැබැයි මේ වර්ජන වලින් රෝගීයෙක්ට ‍යම් අපහසුතාවක් ඇති වුනොත් 100% ක් වගකීම නලින්ද ජයතිස්ස සහ අනිල් ජාසිංහ යන දෙදෙනා භාර ගත යුතුයි.

අපි අනිල් ජාසිංහවත් අමතක කරන්නේ නෑ මෙතනදි. ලංකාවෙ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්න විසදන්න ඕන ඇමතිවරයාට මෙහායින් සෞඛ්‍ය ලේකම්වරයා. මොකද හිටපු ඇමතිවරු වන කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා, නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා, ෆව්සි ඇමතිවරයා, වගේ අය හිටපු කාලෙ දඩබ්බර ගති පැවතුම් ඊගෝ ප්‍රශ්න තිබුණා. හැබැයි සෞඛ්‍ය ලේකම්වරු මුහුකුරා ගිය දැනුමකින් මැදිහත් වුණා.

මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ අත්දැකීම් බහුල දැනුවත් භාවය තියෙන ලේකම්වරයෙක් පත් කිරීමෙන් නලින්ද ජයතිස්ස ට හරි උපදේශය දෙන්න අනිල් ජාසිංහට පුලුවන් වෙන්න ඕන. මම දන්නෙ නෑ එතුමා මේ සම්බන්ධයෙන් ඇයි මේ නිහඩව ඉන්නෙ කියන කාරණාව. අපිට පේන්නෙ දැන් ඕනෙ කමක් නෑ. කාලය ඉවර වෙලා. බෝනස් එකක් විදියට ලැබුණු ලේකම් ධූරය රැකගෙන ඉන්නව වගේ එකක් හිතාගෙන ඉන්නවා ඇති.

එහෙම වුණොත් මේ ප්‍රශ්නය විසද ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි අනිල් ජාසිංහටත් කියන්නෙ කරුණාකරලා මේ ප්‍රශ්නය විසදගන්න මැදිහත් වෙන්න. මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග ගිහිල්ලා තියෙන්නේ මේ ප්‍රශ්නය විසදගන්න ඔබේ මැදිහත්වීම නැති නිසා. ඒ වගේම මේ ප්‍රශ්නය විසදගන්න සෞඛ්‍ය අමාත්‍යවරයාට මගපෙන්වීමේ විශයානුබද්ධ වගකීමක් ඔබට තිබෙනවා.

මේ සියල්ල සිද්ද වෙන්නෙ නැති නිසා ඇති වුණ වර්ජනය දිග්ගැසෙමින් තියෙනවා. වර්ජනයට වග කියන්න ඕනෙ වෘත්තීය සමිති විදියට අපි නෙමෙයි. වෘත්තීකයො නෙමෙයි. අනිවාර්යයෙන් ම වගකියන්න ඕන සෞඛ්‍ය ලේකම්වරයා , සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය පරිපාලනය විසින්”

Previous articleඔබ දැනුවත්ද ? ගමේ බලය ජවිපෙට ගන්න අලුත් කමිටුවක් හදලා ?
Next articleමර්වින්ට ඇප !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here