Home අද ලක්ෂ ගණන් ගහලා : වංචා නඩු 20යි : ජනපති අනුරගේ සමාවෙන් ගෙදර යවයි 

ලක්ෂ ගණන් ගහලා : වංචා නඩු 20යි : ජනපති අනුරගේ සමාවෙන් ගෙදර යවයි 

2149
0

රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන සීඩීබී මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කළාය.

මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින එච්සී/69/2018 අංක දරන නඩුව නඩුව පෙරේදා (4දා) යළි කැඳවූ අවස්ථාවේ අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිතව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

අදාළ ලිඛිත වාර්තාව මගින් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මහාධිකරණයට දැනුම් දුන්නේ අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටින ඩබ්. එම්. අතුල තිලකරත්න නමැති විත්තිකරු ඉකුත් මැයි මස 12 දිනට යෙදී තිබූ වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බවය.

බන්ධනාගාර නිලධාරීන්ගේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කලේ ඩබ්.එම්. අතුල තිලකරත්න නැමති විත්තිකරු ඔහුට එරෙහිව පැවති එච්සී/69/2018 අංක දරණ නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙසයි.

මෙම නඩුව මීට පෙර ඉකුත් මැයි 2 වැනිදා අනුරාධපුර මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ඔහුට එරෙහිව තිබූ මූල්‍ය වංචා චෝදනාවට වරදකරු බවට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය තීන්දු කළාය.

ඒ අනුව මුදලින් රුපියල් 20,000 ක දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය ඒ දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස 06 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළාය. ඊට අමතරව විත්තිකරුට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියමකළ මහාධිකරණ විනිසුරුවරිය ඒ සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියේග කළාය.

තවද විත්තිකරු විසින් වින්දිත පාර්ශවය හෙවත් පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට මුදලින් රුපියල් ලක්ෂ 20 ක වන්දි මුදලක් ගෙවිය යුතු බවට විත්තිකරුට නියේග කළ මහාධිකරණ විනිසුරුවරිය එකී වන්දි මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළාය. නියම කළ දඩ සහ වන්දි මුදල් ගෙවීමට මෙම නඩුව 2025 ජුනි 04 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරිය නියේාග කළාය.

ඒ අනුව පෙරේදා(04) මෙම නඩුව අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ විත්තිකාර ඩබ්.එම්. අතුල තිලකරත්න යන අය නීතීඥ සුරංග මොහොට්ටි මහතා මගින් අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඔහු අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් වාර්තාවක් මගින් මහාධිකරණයට දැනුම් දුන්නේ මෙම විත්තිකරු ඉකුත් වෙසක් පෝය ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති බවයි.

බන්ධනාගාර නිලධාරීන් කළ ලිඛිත දැනුම්දීම සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළේ විත්තිකරු ඔහුට එරෙහිව පැවති එච්සී/69/2018 අංක දරණ නඩුවෙන් නිදහස් මුදා හරින ලෙසයි.

2014 පෙබරවාරි 17 වැනිදා සිට 2014 ජුනි 9 වැනිදා අතර කාලය තුල අනුරාධපුර මහාධිකරණ බලප්‍රෙද්ශයේ පිහිටි අනුරාධපුරයේදී කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ලාබ ලබාගැනීම සඳහා අරුණ ඉන්දික සෝමරත්න යන අය විසින් විත්තිකරු වෙත බාරදෙනු ලැබූ හෝ ආධිපත්‍යයක් පවරනු ලැබූ රුපියල් ලක්ෂ 40 ක් සාපරාධි විශ්වාසය කඩකරමින් වංචා කර සාවද්‍ය පරිහරණය කරන ලදැයි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 396 වගන්තිය යටතේ විත්තිකාර හිටපු මූල්‍ය ආයතන කළමණාකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබිණ.

එකී අධිචෝදනාවට විත්තිකරු වරදකරු කෙරිණ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා තිබිණ. ඩබ්.එම්. අතුල තිලකරත්න යන අය සීඩීබී ආයතනයේ අනුරාධපුර ශාඛාවේ කළමණාකාරවරයාව සිටිමින් මෙම වරද කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී කියැවිණ.

වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති විත්තිකාර ඩබ්.එම්. අතුල තිලකරත්න යන අයට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු විස්සකට අධික සංඛ්‍යාවක් පවතින අතර අනුරාධපුර මහාධිකරණයේද තවත් නඩු කිහිපයක් පවතී. ඒ සියලු නඩු මූල්‍ය වංචා සිද්ධීන්ට අදාළ ඒවා වීම විශේෂත්වයකි. ඒ නඩුවල පැමිණිලිකරුවන් වන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ තවත් වෛද්‍යවරුන්, නීතීඥවරුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසකි. විත්තිකාර ඩබ්.එම්. අතුල තිලකරත්න යන අය මූල්‍ය වංචා සිද්ධියකට මීට පෙරද අධිකරණයෙන් වරදකරු වී සිර දඬුවම් ලැබූ අයෙකි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතීඥ මහේන්ද සිල්වා මහතා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙනී සිටී අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ සුරංග මොහොට්ටි මහතා පෙනී සිටියේය.

මූලාශ්‍රය : මොණරා පුවත්පත

Previous articleඉන්දු- ලංකා ගිවිසුම් වලට එරෙහි පෙත්සම් වලට දින දෙයි !
Next articleමුදල් අමාත්‍යංශයේ නිලධාරීන් අරක්කු මුදලාලිලාගෙන් මුදල් ගන්නවා – හඳුන් : අනුරත් ෆේල් ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here