Home අද කන්ටේනර් 323 තිබුණේ ආයුධ නෙවෙයි : තුයියකොන්තා සහතික වෙයි : කමිටු වාර්තාව...

කන්ටේනර් 323 තිබුණේ ආයුධ නෙවෙයි : තුයියකොන්තා සහතික වෙයි : කමිටු වාර්තාව එන සතියේ !

526
0

කිසිඳු පරීක්‍ෂාවකට ලක්නොකර රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් 323 අතර එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් අවිආයුධ තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ‘නෙත් නිව්ස්’ වෙත පවසා ඇත්තේ අදාළ ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බවයි.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් මෙසේ සඳහන් කළද අදාළ කන්ටේනර් 323 තුළ තිබුණේ මොනවාද යන්න සම්බන්ධව මෙතෙක් අනාවරණය කිරීමට රජය අසමත්වීම කැපී පෙනෙන කාරණයක්ව තිබේ.

දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩුව පාර්ශ්වයේ දුර්වලතා අවස්ථානුකූල ලෙස ප්‍රයෝජනයට ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් ආර්චුනා කටයුතු කරන බවයි. එබැවින් එවැනි අවස්ථා ලබානොදීම වෙනුවෙන් කටයුතු කළ යුත්තේද ආණ්ඩුව පාර්ශ්වය වෙතින් බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

මම මේක කිව්වා කියල වෙඩි වදින්න පුළුවන් – අර්චුනා

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් ආර්චුනා මෙසේ සඳහන් කර සිටියේ ය.

”මම කන්ටේනර් ගැන කතා කරනවා. මේක කතා කරනකොට මට වෙඩි වදින්න පුළුවන් මොකද මට ආරක්ෂාව දීලා නෑ. ජනාධිපති චන්දෙට කලින් ජර්මනි ගිහිල්ලා ඩයස් පෝරාව හම්බුනා. තායිලන්තයේ තිබුණු ප්‍රභාකරන්ගේ බඩු ටික කුමරන් පද්මනාදන් හරහා කේපි ඒ බඩු ටික මෙහෙට ගෙනල්ලා තියෙනවා. මිනිස්සු කතාවෙනවා. අන්තිමට ඉතිරි වෙච්ච ආයුද ටික ගිනි අවි ටික ඒ කන්ටේනර් වල දාලා ගෙනල්ලා තියෙනවා කියලා කියනවා. මට මේක ඔප්පු කරන්න බැහැ. වගකීමෙන් කියන්නේ. කන්ටේනර් 300 තිබුනේ ප්‍රභාකරන්ගේ ගිනි අවි. තැන් තැන්වල ගිහිල්ලා තිබිච්ච ඒවා ගෙනල්ලා තියෙනවා.

‘ මුලසුන :

“ඔබතුමා වගකීම භාරගන්නවද

අර්චුනා රාමනාදන්:

වගකීමෙන් කියනවා කියලා මම සිංහලෙන් කිව්වනේ.

මන්ත්‍රී දේවානන්ද සුරවීර:

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යට වෙලා පිස්සු කෙලින්න එපා. අපේ රටේ ජනතාව ඒ පිස්සු වලට අහුවෙන්නෙ නෑ. මේගොල්ලන් යවන්න ඕන අංගොඩ රෝහලට. උතුරු නැගෙනහිර ජනතාවට වැරදීමක් වෙලා.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන :

“බොරු කියන්න එපා. පුළුවන් නම් ඕක සභාවෙන් එළියට ගිහිල්ලා කියන්න.

කන්ටේනර් 323 වාර්තාව එන සතියේ !

කෙසේවෙතත් මහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය මහලේකම් ඒ. කේ සෙනෙවිරත්න රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී පසුගියදා ප්‍රකාශ කර සිටියේ, කන්ටේනර් 323 ක් නිදහස් කර ඇතැයි කියන ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව ලබන සතියේදී නිකුත් කිරීමට නියමිත බවයි.

ඒ කමිටුවේ වාර්තාව මේ දිනවල සකස් කරගෙන යන බවද ඔහු කීය

Previous articleහිටපු ඇමතිණි චන්ද්‍රාණිටත් අධි චෝදනා
Next articleට්‍රම්ප් චීනයේ නිල සංචාරයකට සැරසෙයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here