Home අද භාතිය – සංතුෂ් “වේරැස් ගඟේ” පැටලේ !

භාතිය – සංතුෂ් “වේරැස් ගඟේ” පැටලේ !

313
0

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද ‘වේරැස් ගඟ ව්‍යාපෘතිය’ සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එම ව්‍යාපෘතියේ මූලික අදියරේ උත්සව කටයුතුවලට වියදම් කර රජයට රුපියල් ලක්ෂ 276ක පාඩුවක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවේ සැකකරුවන් ලෙස භාතිය – සන්තුෂ් යන ජනප්‍රිය ගායක යුගල නම් කරන ලෙස විත්තියේ නීතීඥ නුවන් ජයවර්ධන ඉල්ලා සිටියේය.

ඒ ඊයේ (05) මේ සම්බන්ධව නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේය.

මේ සමඟ ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මෙහි සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතීඥවරයා ඉල්ලා සිටියේය.

විත්තියේ නීතීඥ නුවන් ජයවර්ධන මෙම සිදුවීමේ දෙවන සැකකාරිය ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිවරියක් වන එම්.ඒ.ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධිර නමැති සැකකාර කාන්තාව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකාවක් වන තම සේවාදායිකාව නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් බැහැරව එම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 276 ක් මුදා හැරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද සඳහන් කළේය.

ඉහළ බලධාරීන්ගෙන් ඇතිවන පීඩා නිසා එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිවරියන් දෙදෙනෙකු එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසුව තම සේවාදායිකාව ඒ සඳහා පත්කර ඇති බව ද නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම ව්‍යාපෘතිය 2014 සැප්තැම්බර් 9 වන දා විවෘත කිරීමට නියමිතව තිබී ඇති බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකයන්ට දැනුම් දී ඇත්තේ සැප්තැම්බර් 5 වන බව ද ඔහු පැවසීය.

දින හතරක් වන කෙටි කාලයක් තුළ එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීමට සිදුව ඇති බවත් එම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ එම සංස්ථාවේ සභාපතිවරයා බවත් ඔහු සඳහන් කළේ ය.

එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් හිටපු ගෝඨාභය රාජපක්ෂ එම ව්‍යාපෘතිය නැරඹීම සඳහා පෙරහුරු පවා පවත්වා ඇති බවත් එවන් තත්ත්වයක් තුළ තම සේවාදායිකාව කටයුතු කර ඇත්තේ දැඩි පීඩනයෙන් බවත් සඳහන් කළේය.

එම විවෘත කිරීමේ උත්සවයේ සියලු ම කළමනාකරණය කිරීමේ කටයුතු භාතිය ජයකොඩි නමැති අයෙකුට අයත් “ෂෝටවුට් එන්ටර්ටේට්මන්ට්” නමැති ආයතනයකට භාර දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂයට හා භාතිය සන්තුෂ් යන දෙපළ මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කළ යුතුව ඇති බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

තම සේවාදායිකාව අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකාවක් වශයෙන් කටයුතු කර ඇති නමුත් ඇය ක්‍රියාකර ඇත්තේ ඇයට ඇතිවූ පීඩනය හා ඇයට හැකි පමණින් බවද නීතීඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා මෙම සිද්ධියේ පළමු සැකකරු වන බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මේ වන විට ඇප මත මුදාහරණ හැර සිටින බවයි.

එසේම  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන සිටින දෙවන සැකකාරිය එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයක් වශයෙන් කටයුතු කර ඇති බවත් ඇය එම ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකාවක් වශයෙන් කටයුතු කරමින් නිසි ක්‍රමවේදයන්වලින් බැහැරව මුදල් වෙන්කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් කෙරුණු අතර එබැවින් අධිකරණය වෙත ඉදිරිපත් කළ දෙවන සැකකාරිය සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටිණ.

දෙපාර්ශවයේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට නියෝග කළ අතර නඩුව ජූනි 24 වන දා නැවත කැඳවීමට නියමිතය

Previous articleමර්වින්ට ඇප !
Next articleවිපක්ෂය බලය ගත්තත් කරන්න දෙන්නේ නෑ : සරත් චොප්පෙට අඳියි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here