කාශ්මීරයේ පහෙල්ගාම්හි සංචාරකයින් 26 දෙනෙකු ඝාතනය කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව දැඩි ආරක්‍ෂක ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක පසුවෙන බවත් ඒ හමුවේ පකිස්ථානය සමඟ යුද්ධයකට පිවිසීමේ දැඩි අවධානමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
එම වාර්තා අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පකිස්ථානයට එරෙහිව ආරක්‍ෂක ක්‍රියාමාර්ග ගැනීමේ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අවසරය ඉන්දීය හමුදා වෙත ලබාදී ඇත.
මෙම තීන්දුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි , ආරක්ෂක අමාත්‍ය රජිනාත් සිංග්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදාපතිවරු සමඟ පැවැත්වු විශේෂ සාකච්ජාවකදී ගෙන ඇති බවද වාර්තා වෙයි.
එසේම මේ වනවිටත් ඉන්දියාවේ දිල්ලි අගනුවර විශේෂ සාකච්ජා කිපයක් පැවැත්වෙමින් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා හි සඳහන් වෙයි.
එසේම මේ වන විට ඉන්දියාව තමන් සතු අධිබලැති චන්ද්‍රිකා සන්නිවේදන අඩපණ කිරීමේ පද්ධති හරහා පාකිස්තාන ආරක්ෂක අංශ වල සන්නිවේදන කටයුතු අවහිර කිරීම ආරම්භ කර ඇති බව x සමාජ මාධ්‍ය සටහන් තැබෙමින් පවතී. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එවැනි සටහන් තබා තිබුණත් ඉන්දීය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙතෙක් ඒ සම්බන්ධව වාර්තා කර නොමැත.
කෙසේවෙතත් ඇතැම් විදෙස් දේශපාලන විශ්ලේෂකයන් ඉදිරි පැය 24 ඇතුලත වුවද දකුණු ආසියාවේ ප්‍රධාන රාජ්‍යයන් දෙකක් අතර යුද්ධයක් ආරම්භ වීමේ ඉහළ ප්‍රවණතාවයක් තිබෙන බවට පුරෝකථන ඉදිරිපත් කර ඇත.
එසේම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් වල විදේශ අමාත්‍යවරුන් සමඟ ද්වීපාර්ශවික සාකච්ජා ආරම්භ කර තිබෙන බවද මාධ්‍ය වාර්තා පළවී ඇති අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා සහ පාකිස්තානයේ අගමැතිවරයා සමඟ වෙන වෙනම හදිසි සාකච්ජාවක් පවත්වා ඇති බවද වාර්තා වෙයි.
මේ අතර පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේකාශ්මීරයේ පෙහෙලෙගාම්හිදී සිදුවූ 26 දෙනෙකු ඝාතන සිදුවීමෙන් පසු ඉන්දියාව හමුදා ආක්‍රමණයක් සිදු කිරීමට ආසන්න බවයි.
මෙම තත්වය මත පාකිස්තානයද සිය හමුදා සීරුවෙන් තබා ඇති බවද ඔහු පවසා තිබේ.
පවතින තත්ත්වය තුළ සමහර උපායමාර්ගික තීරණ ගත යුතු බවත් ඔහු සදහන් කර තිබෙන අතර ‘පාකිස්ථානයේ පැවැත්මට සෘජු තර්ජනයක් තිබේ නම් තම න්‍යෂ්ටික අවි භාවිතා කරනු ඇති’ යයිද හෙතෙම පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා හි සඳහන් ය.
2025 අප්‍රේල් 22 දින සංචාරකයින් 26 දෙනෙකු ඝාතනය කළ ප්‍රහාරයේදී චීනයේ Huawei සමාගමේ චන්ද්‍රිකා දුරකථනයක් භාවිතා වූ බවට ඉන්දීය ආරක්ෂක අංශ සැක පළ කර ඇත. මෙම දුරකථනය පාකිස්තානයෙන් හෝ වෙනත් රටකින් ගෙන ඇති බවට සැකකෙරෙන බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා හි දැක්වෙයි.
මේ සමඟ ඉන්දීය වෙබ් අඩවි හැක් කිරීමක ප්‍රවණතාවක් ද නිරීක්ෂණය වී ඇති බවටද මාධ්‍ය වාර්තා වල සඳහන්ව ඇත.
ඒ පසුබිමේ ඉන්දියාව ද චන්ද්‍රිකා සන්නිවේදන ජෑමිං කිරීමේ තාක්ෂණික හැකියාව ඇති බැවින් පාකිස්තාන ආරක්ෂක අංශවල සන්නිවේදන කටයුතු අවහිර කිරීමේ මෙහෙයුමක් දියත්විය හැකි නමුත් මෙවැනි ක්‍රියාවක් ඉතා රහසිගත හමුදාමය මෙහෙයුමක් වන බැවින්, එය ප්‍රසිද්ධ නොකරනු ඇති බව විචාරක මතය වී තිබේ.
ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ ඉන්දු-පාකිස්තාන ආතතිය පහල්ගම් ප්‍රහාරයත් සමග ඉහළ ගොස් ඇති අතර, දෙරට අතර හමුදාමය මැදිහත්වීම් වල වර්ධනය , රාජ්‍යතාන්ත්‍රික බිඳවැටීම්, සහ ඉන්දු ජල ගිවිසුම වැනි ගිවිසුම් අත්හිටුවීම හේතුවෙන් යුද්ධයක අවදානම ඉහළ යමින් ඇති බවයි. ඉන්දියාව හමුදාමය ප්‍රතිචාරයකට සූදානම් වන අතර, පාකිස්තානයද එවැනිම ප්‍රතිචාරයකට සූදානම් බවත් ජාත්‍යන්තර මැදිහත්වීමක් නොමැතිව, මෙම ගැටුම තවදුරටත් උත්සන්න විය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.