අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් ට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (28) අවසර ලබාන්නාය.
අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහෙන්ද්‍රන් සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා එම සමාජ මාධ්‍ය ජාලාවලට ප්‍රශ්න නමයක් යොමු කර ඊට අදාලව පිළිතුරු ලබාගැනීම සඳහා අවසර ලබාදෙන ලෙසට එම බුද්ධි ඒකකය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය විසින් මෙම අවසරය ලබාදෙන ලදී.
රට තුළ දැඩි ලෙස කතාබහට ලක් වූ ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පිල්ලෙයාන් යන අයට විරුද්ධව පැවරූ නඩු කටයුත්තෙන් පිල්ලෙයාන් නිදහස් කර ඇති බවට සඳහන් කරමින් අභියාචනාධිකරණයට හා තමාට අපහාසයක් වන ආකාරයට එම සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වල අසත්‍ය තොරතුරු පළ කර ඇති බවත් ඒ සඳහා තමාගේ රාජකාරී නිල ඇඳුම් සහිත ඡායාරූපද පළ කර ඇති බවත් විනිසුරුවරයා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.
එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවේ එම ප්‍රශ්නගත නඩු කටයුත්ත කිසිදු දිනයක තමා ඉදිරියේ කැඳවීමක් කර නඩු කෘත්‍යයක් ලෙස විභාග නොවූ බවත් ඒ සම්බන්ධයෙන් අභියාචනාධීකරණ රෙජිස්ටාර්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව තොරතුරු දන්වා යවා ඇති බවද විනිසුරුවරයා සිය පැමිණිල්ල මගින් පෙන්වාදී ඇති බවය.
එම සිද්ධියට අමතරව තමන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන්ද එම සමාජය මාධ්‍ය ජාලා හරහා අසත්‍ය තොරතුරු පළ කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසට අභයාචනාධිකරණ විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට හමුවේ පැවසීය .
පැමිල්ලිකාර අභියාචනාධිකරණ විනිසුරුවරයා තම බුද්ධි ඒකකය වෙත කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලට අනුව එම සමාජය මාධ්‍ය ජාලා ඔස්සේ පලකර තිබෙන අසත්‍ය පුවත් හේතුවෙන් සමස්ත අධිකරණ පද්ධතියම හෑල්ලුවට ලක් කරමින් ජනතාවට අධිකරණය කෙරෙහි විශ්වාසය පළුදු කිරීමට උත්සාහ දරා ඇති බවක් පෙනෙන්නට තිබෙන බවද විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට පෙන්වා දෙනු ලැබිණ.
1979 අංක 15 දරණ අපරාධ නඩු විධහන සංග්‍රහයේ124 වගන්තිය ප්‍රකාරව ලැබී තිබෙන බලතල ප්‍රකාරව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවද බුද්ධි ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසීය