පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන තවත් ලැයිස්තුවක් ප්‍රසිද්ධ කිරීමට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සූදානම් වෙයි.
මැයි 6 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගය පක්ෂය සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ සඳහා වන තම සූදානම පිළිබඳව අදහස් දක්වා සිටියේය.
එහිදී නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසා සිටියේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ සභාපතිවරුන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් තමන් සිදු කරන බවයි.
නිවාස සඳහා වන්දි ලබා ගැනීමේදී සිදුකර ඇති දේ මේ හරහා තමන් හෙළිදරව් කරන බවද ඔහු පැවසීය.
මීට පෙරද නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් පැවති පාලකයන්ගේ දූෂණ කියමින්, ලැයිස්තු කිහිපයක් ජනගත කර ඇත.
ජනාධිපති කාර්‍යාලයේ වාහන භාවිතය, ජනාධිපති අරමුදලෙන් මුදල් ගෙන ඇති දේශපාලඥයන්, පසුගිය සමයේ මත්පැන් බලපත්‍ර ලාභීන්, අරගල සමයේ ගිනිතැබූ දේපොළ සඳහා වන්දි ලබාගත් දේශපාලඥයන් ආදී ලෙස විවිධ ලැයිස්තු ඒ අතර වූ නමුත් ඒ කිසිවක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්නට නැත.
මේ සම්බන්ධව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් චෝදනා කර සිටියේ , ආණ්ඩුව දුෂ්කරතාවට පත්වන සෑම අවස්ථාවකදීම එම පාර්ශ්වයෙන් ලැයිස්තුවක් හෙළිදරව් කෙරෙන නමුත් , ඒවායේ වගකිවයුතු පාර්ශ්ව නීතිය හමුවට පැමිණවීමක් හෝ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමක් සිදුනොවන බව පවසමිනි. අවම වශයෙන් එකී චෝදනා සත්‍යද යන්න සම්බන්ධව පවා සැකසංකා උපදවන බවද එහිදී සඳහන් කෙරිණ.