ඉන්දියාවේ සිට මෙරට මන්නාරම දක්වා යෝජනා කෙරුණු පාලම ඉදිකිරීම ශ්‍රීලංකා රජය ප්‍රතික්ෂේප කළ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
එසේම එකී ව්‍යාපෘතිය යටතේ යෝජනා වූ මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා වන අධිවේගී මාර්ගය ඉදිකිරීමටද තම රජය විරුද්ධ බැවින් එයද ප්‍රතික්ෂේප කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ කාලීන හා දේශපාලන සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
පෙර රජයන් මේ සඳහා එකඟතාව පළකර තිබූ නමුත් දෙරට අතර පාලමක් ඉදිකිරීම සහ මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකිරීම රට වෙන්වීමේ තත්ත්වයක් ඇති වීමේ අවධානමක් මතුවෙතැයි ද අමාත්‍යවරයා සැකසංකා පළකර සිටියේය .
කෙසේවෙතත් ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රයට රජය එකඟ බැවින් ඊට එඟතාව පළකල බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී වැඩසටහන මෙහෙයවූ නිවේදකයා විමසා සිටියේ පාලමක් සහ අධිවේගී මාර්ගයක් හේතුවෙන් රටක් වෙන්වන්නේ කොහොමද ? සහ ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රයට යන පිරිවැය ගැන සලකා බැලුවාද ? කියාය.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ආර්ථිකයට වඩා රටේ භෞමික අඛණ්ඩතාවය බැලිය යුතු බවත්, එසේම දෙරට අතර ආර්ථික දේශපාලන තත්ත්වයන් සමානවූවා නම් ගැටළුවක් නොමැති බවත් ය.
මැලේසියාව සහ සිංගප්පූරුව අතර පාලමක් ඉදිකර ඇති බවද සිහිපත් කළ අමාත්‍යවරයා ඒ ඉදිකරන විට දෙරට අතර ආර්ථික තත්වය සමාන බවද පැවසීය.