මහනුවර සිරි දළදා වන්දනාව සඳහා අපේක්‍ෂා නොකළ ආකාරයට බැතිමතුන් පැමිණීම හේතුවෙන් ඔවුන්ගේ ගමන් පහසුව සඳහා යොදවා තිබූ විශේෂ දුම්රිය සේවාව නැවත දැනුම් දෙන තුරු අද (24) සිට නවතා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මෙම විශේෂ දුම්රිය සේවාවල කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වූ අතර පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එය අත්හිටුවා තිබේ.
දළදා වන්දනාව සඳහා අද සහ හෙට දිනවල පැමිණීමෙන් වැළකී සිටින ලෙස පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කළද එම ඉල්ලීම නොතකා විශාල පිරිසක් අද දිනයේත් මහනුවරට පැමිණෙමින් ඇත.
ඒ අනුව බැතිමතුන් ලක්ෂ හතරකට අධික සංඛ්‍යාවක් අද දිනය වන විට විවිධ දුෂ්කරතා මධ්‍යයේ පෝලිම් වල රැඳී සිටින බව පොලිසිය සඳහන් කරයි.
පෝලිම්වල රැඳී සිටින පිරිස් හැසිරවීම සඳහා පොලිසිය සහ යුද හමුදා නිලධාරීන් 17000 කට අධික පිරිසක් යොදවා සිටියත්
ඇතැම් ස්ථානවල ඇතිවන නොසන්සුන්තාවයන් හා ගැටුම් පාලනය කිරීමට ඔවුන්ට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව එහි එක්ව සිටින බැතිමත්හු පවසති.
මේ ආකාරයට මහනුවර නගරයට අධික පිරිසක් පැමිණීම හේතුවෙන් නගරයේ පිරිසිදු බව රැක ගැනීම සඳහා මහනුවර මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන පියවර ගෙන තිබුනද ඇතැම් ස්ථාන දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව ඔවුහු තවදුරටත් පැවසූහ.
මේ තත්ත්වය මත සිරි දළදා වන්දනාව සඳහා නැවත දැනුම් දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස සියලු බැතිමතුන්ගෙන් පොලිසිය කාරුණික ඉල්ලීමක් කර ඇත.