මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරයකට යොමු කිරීමේ සිද්ධියක් මුල් කරගෙන එහි ඊයේ (22) රාත්‍රියේ ඇති වූ කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා මැදිහත් වූ පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇත.
බන්ධනාගාරයේ ඇති වූ කලාකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ විශේෂකාර්ය බලකාය දැඩි උත්සාහයක් ගනු ලැබීය. එහි ඇති වූ කළහකාරී තත්ත්වය යම් ප්‍රමාණයකට පාලනය කිරීමට හැකි වූවත් තවමත් එහි පාලනය බන්ධනාගාර නිලධාරීන් යටතට පත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව එම බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.
බන්ධනාගාරයේ පවතින නොසන්සුන්තාවය නිසා අද දිනයේ අධිකරණය වෙත රැගෙන යෑමට සිටි රැඳවියන් ගෙන යෑමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව පොලිසිය පවසයි.
බන්ධනාගාර රැඳවියන් අතරින් ස්වකැමැත්තෙන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට යෑමට කැමති අයට, එහි තිබෙන බන්ධනාගාර රථයට ගොඩවන ලෙස නිලධාරීන් දැනුම් දුන්නද ඒ සඳහා කැමැත්ත පළ කර පැමිණ ඇත්තේ රඳවියන් එකොළොස් දෙනෙක් පමණි.
මාතර බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් අතරින් 25 දෙනෙකු අගුණකොලපැලැස්ස බන්දනාගාරය වෙත රැගෙන යෑමට පියවර ගත් බව එහි නිලධාරියෙක් පැවසීය.
එහෙත් තවත් රැඳවියන් විශාල පිරිසක් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට යෑම ප්‍රතික්ෂේප කරමින් විරෝධතාවල නිරතව සිටින බව එම නිලධාරියා සඳහන් කළේය.
මේ අතර බන්ධනාගාරය තුළ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අද දිනයේ රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට අවසර ලබා නොදීමට බන්ධනාගාර බලධාරීන් තීරණය කර තිබේ.