එළැඹෙන මැයි 6 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි ඩෑන් ප්‍රියසාද් වෙත එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරයෙන් ඔහු මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ (22) රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.
ඊට අනුව යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
ඩෑන් ප්‍රියසාද් මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ රාත්‍රියේ එක් වරක් සඳහන් කර සිටි අතර ඊට අදාළ නිවේදනයක්ද නිකුත්කර තිබිණ.
මෙහිදී සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සිය සමාජ මාධ්‍ය ගිනුම් වල සටහන් තබා තිබුණේ, ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇති බවට පොලිසිය සඳහන් කළත්, ඔහුට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කෙරෙමින් ඇති බවයි. ඒ අනුව මියයාමට පෙර මියගොස් ඇති බව පොලිසිය පැවසුවේ කෙසේද යන්නද ප්‍රශ්න කර තිබිණ.
කෙසේවෙතත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද්, මියගොස් නොමැති බවත් ඔහුට අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කෙරෙමින් ඇති බවත් ය.
අනතුරුව අද (23) උදෑසන පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් තහවුරු කර තිබුණේ වෙඩි වැදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇති බවය.
වෙඩි ප්‍රහාර දෙකක් ඩෑන් ප්‍රියසාද්ගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර සිටියි.
කෙසේවෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය නිසි විමර්ශනයක් සිදුකළ යුතු බවත්, ඩෑන් ප්‍රියසාද් එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයකු බැවින් එය දේශපාලන ඝාතනයක්ද නැතිනම් පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක්ද යන්න අනාවරණය කළ යුතු බවටත්, සමාජ මාධ්‍ය තුළ අදහස් දැක්වෙමින් තිබේ.