වැලිකඩ පොලිසිය මගින් සිය භාරයට ගැනීමෙන් පසුව මරණයට පත් වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය යළි සිදු කිරීම සඳහා අද (23) ගොඩගැනීම සිදුකර තිබේ.
ඒ මීගහකිවුලේ සුසාන භූමියේ දී බදුල්ල මහේස්ත්‍රාත් නෙජිත් ද සිල්වා මහතා ඉදිරියේ දියි.
නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා එම දේහය ගොඩ ගැනීමට අවසර දෙන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් විසින් මෙම මරණකරුගේ සිරුර යළි ගොඩගන්නා ලෙස අප්‍රේල් මස 17 වනදා නියෝග කර තිබුණි.
මෘත දේහය ගොඩගන්නා අවස්ථාවේදී අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කරන ලෙස ද මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් බදුල්ල මහේස්ත්‍රාත්වරයාට දැනුම්දී තිබූ අතර ශරීරය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත්කරන ලෙස ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් නඩු දිනයේදී කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබුණි.
ඒ අනුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න, විශේෂඥ අධිකරණ වෛද්‍ය පී.ආර්. රුවන්පුර සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය මුදිත විදානපතිරණ යන මහත්වරුන්ගෙන් යුත් ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුවක් පත් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.