Home අද උඩින්ම දිනයි කියලා හිතන් හිටියට මාලිමාවට මේ මැතිවරණයෙන් බහුතර බලයක් ලැබෙන්නේ නෑ...

උඩින්ම දිනයි කියලා හිතන් හිටියට මාලිමාවට මේ මැතිවරණයෙන් බහුතර බලයක් ලැබෙන්නේ නෑ – හිටපු ජනපති රනිල්

209
0

ලබන මස 06 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන බව ජාතික ජන බලවේගය සිතාගෙන සිටියත් මේ මැතිවරණයෙන් ඔවුන්ට බහුතර බලයක් හිමිවන්නේ නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකලේ අද (21) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී පැවති කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වඳින අපේක්ෂක අපේක්ෂිකාවන් දැනුවත් කිරීමේ හමුවේදීය.

එහිදී වැඩිදුරට අදහස් දැක්වූ ඒ මහතා

මාලිමාව හිතනවා නම් මේ ඡන්දය දිනනවා කියලා එහෙම දිනන්නේ නෑ.බොහෝ තැන්වල බහුතරයක් ලැබෙන්නෙත් නෑ.අපි බලන්නේ ඒ බහුතරය එකතු කරගෙන බලය ගන්න.අප පමණක් නොව ඒ අනෙක් කණ්ඩායම්ද එකට එකතු විය යුතුයි.මම සජබෙ ගැන දන්නේ නෑ. හැබැයි කණ්ඩායම් ගණනාවක් එකතු වන විට ඔවුනුත් මේකට එකඟ වේවි.එහෙම එකට එකතු වූ විට පළාත් පාලන ආයතනයේ සභාපති ලෙස පත් වන්නේ වැඩිම මන්ත්‍රීවරුන් සිටින කණ්ඩායමයි.අපට දැන් තිබෙන්නේ වැඩිම මන්ත්‍රී කණ්ඩායම ලබා ගන්නයි.

අනෙක් අය සමග හැප්පෙන්නේ නැතිව එය කළ යුතුයි.ඔය කිව්වට මේ ගොල්ලන්ට දිනන්න බෑ.
අපට තිබෙන්නේ චීනෙට පස්සේ ජාත්‍යන්තර වශයෙන් ඉතා බලවත්ම ආණ්ඩුව.ඒ මොකද අප ලියුමක් යවපු ගමන් ට්‍රම්ප් ජනාධිපති බද්ද දින අනූවකට කල් දැමූ බව කියනවනේ.වෙන ලෝකෙ කොහෙවත් එහෙම ආණ්ඩුවක් තියෙනවද?ඔහොම කතාවලට අප ඇහුම්කන් දෙන්න වැඩක් නෑ.

මහ මැතිවරණයේදී චාන්ස් එකක් දෙන්න කිව්වා. ඉතින් ජනතාව චාන්ස් එකක් දුන්නා. එල්බෝඩ් කාරයෝ දාන්න එපා පලපුරුදු අය දාන්නැයි මම නම් කිව්වා.කොහොම හරි එල්බෝඩ් කාරයෝ දැම්මා.දැන් වාහනේ හප්පලා ඉවරයිනේ.ගන්න කෑලි තියෙනවද?

චාමර සම්පත් මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශක් නිසා මා ගැනත් කතා කරලා තිබුණා. මම ඒවා මෙතන කතා කරන්න යන්නේ නෑ.මගේ නීතිඥතුමා තාම ඉන්නේ පිටරට.ඔහු පැමිණි විට දිනයක් දාගෙන යන්නම් යැයි මා කියා තිබෙනවා.
ඒ කාරණයේදී අපේ ජනාධිපතිතුමාගේ කතාවට ඇහුම්කන් දුන්නාම මට එකක් පෙනුනා.ඔහු දූෂණ විරෝධී නීතිය කියවල නෑ.මේක විභාග කරන විට කාටවත් ඒ ගැන කතා කරන්න බැහැ කියා එතුමා කිව්වා.එහෙම කිසිම කොන්දේසියක් දූෂණ විරෝධී පනතේ නෑ.ඒක හොයාගත්තේ කොහෙන්ද? දූෂණය ගැන කතා කරනවා. පනත කියවල නෑ.ඒ පනත් සම්මත කළේ මා ජනාධිපති ධුරයට පත් වූ පසුවයි.විජයදාස රාජපක්ෂ ඇමතිවරයා මෙය සකස් කොට ඉදිරිපත් කළා.මේ දූෂණ විරෝධී පනත මෙන්ම අපරාධ වලින් උප්පාදිත පනතත් ඉදිරිපත් කළේ අපි.ඉතා වේගයෙන් ඒ කටයුතු කළා.විජයදාස රාජපක්ෂ මැතිතුමා නීති හදන්න දක්ෂයා.උදේ කිව්වොත් හැන්දෑවට හෝ ඊලඟ දවසට හදාගෙන එනවා.දන්නේ නැතිනම් එතුමාගෙන් ගිහින් අහගන්න.මම කියන දේ පිළිගන්නේ නෑනේ.

අප 2022 වසරේ ජනාධිපති ධුරයට පත් වූ කාලයේ දූෂණය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබුණා.මුල්‍ය අරමුදලත් ඒ ගැන අප සමග කතා කළා.ඒ අනුව අප අලුත් නීතියක් ගෙන ඒමට කටයුතු කළා.
දෙවැනිව අපට තිබුණේ අපරාධයකින් උත්පාදිත දේපළ නැවත පවරා ගැනීම පිළිබඳ පනත ඉදිරිපත් කිරීමයි.2023දී අප දූෂණ විරෝධී පනත සම්මත කර ගත්තා.
අපරාධයකින් උත්පාදිත දේපොළ පනත ගෙනෙන තුරු මුදල් දිය නොහැකි බව අයි.එම්.එෆ් අපට කිව්වා. මට විජයදාස රාජපක්ෂ මහතාට කෑ ගහන්නත් සිදුවුණා. කොහොම හරි එතුමා එය කළා.නමුත් එය අපට ලැබෙන විට අපට ජනාධිපතිවරණයට යන්නට සිදුවුණා.
නමුත් අප මැතිවරණයෙන් පැරදුනා. දූෂණය නැති කරන්න කියා පැමිණි අනුර කුමාර ජනාධිපති වුණා.දැන් පනත ගෙනෙන්නේ නෑ.දෙසැම්බර් මාසෙ ගෙනාවේ මොකක්ද?පළාත් පාලන ඡන්ද සංශෝධනේ ගෙනාවා. මේ පනත ගෙනාවෙ නෑනේ.මම පුදුම උනා.

උගන්ඩාවෙන් රාජපක්ෂ සල්ලි ගේන්න ඕන කියලා තව කවුද කියනවා.පුළුවන් නම් ගේන්න කියල නාමල් කියනවා.ඒවා ගේන්න නම් මේ පනත සම්මත කරන්න ඕනනේ. මේ අතරේ වරාය කන්ටේනර් 300කුත් නැති වුණා.
අන්තිමට අයි.එම්.එෆ් සංවිධානය කිව්වා ඊළඟට මුදල් දෙන්න පෙර මේ සම්මත කරන්න කියලා.ඒකට බයවෙලා අප්‍රේල් පළවෙනි සතියේ එය පාර්ලිමේන්තුවට දැම්මා.

මේ දාපු එකේ අපේ පනත සමග විශාල වෙනසක් නෑ.ඇයි මේවා හංගගෙන ඉන්නේ. දැන් නඩු දාන්න පුළුවන් වන්නේ අප දූෂණ විරෝධී පනත ගෙනාපු නිසා තමයි.ඒත් ඒක දේශපාලනය නොකර කරන්න කියා මම කියනවා.වි⁣ජේදාස රාජපක්ෂ ඒ පනත ගෙනාපු නිසා ඒ ගැන විභාග කරන්න අප පටන් ගත්තා.දැන් ඉතින් අලුත් අධ්‍යක්ෂ ජනරාල් තුමා ආවට පස්සේ ඒ ටික කරගෙන යනවා.

මේවා කලේ අපි නිසා බව මා මතක් කරන්න කැමතියි.දැන් ඒගොල්ලො කළා කියලා කෑ ගහනවා.අප දූෂණය නැති කරන්න කටයුතු කළා.මේ අය දූෂණය නැති කළේ නෑ. කන්ටේනර් තුන්සීයක් නැති කළා.

මේ රට බාර අරගෙන මම ණය ප්‍රශ්නය විසඳුවා.ණය පොලිය අඩුකර ගත්තා. බිලියන 28කට ණය සහනයක් ලබා දුන්නා.ඉතිරි ටික ගෙවීමට 2028 තෙක් කල් ලබා දුන්නා.මා බාර දෙන විට ඩොලර් බිලියන හයක පමණ සංචිතයක් තිබුණා .දැන් එය ඩොලර් බිලියන 6.5 ක් බවට පත්වී තිබෙනවා.

2024 වසරේදී අපේ ආර්ථිකය දළ දේශීය නිෂ්පාදනයේ සියයට පහකින් වර්ධනය වුණා.බංකොලොත් වී තිබූ රට ඍණ අගයේ සිට දණ අගයකට පත්වුණා. ආසියා සංවර්ධන බැංකුවේ වාර්තා අනුව එම වේගය දැන් 3.9 කට අඩු වෙලා.
2026 දී 3.9 කට අඩු වෙන්න නියමිතයි.ඒ කියන්නේ ණය ගෙවන්න අවශ්‍ය වර්ධන වේගය නැහැ.අපේ මුදල් අමාත්‍ය ජනාධිපතිතුමා මේ ගැන කරුණු කිව යුතුයි.සී අයි.ඩී එක දාලා හරි මේවට හේතු හොයන්න.ආණ්ඩුවට මේ ප්‍රශ්න වලින් පැනලා යන්න බෑ. එක එක විදියට කෑ ගහලා පැනලා යන්න තමයි උත්සාහ කරන්නේ.

මේවා වසරේදී යුරෝපීය සංගමයේ වර්ධන වේගයේ අඩුවීමක් තිබෙනවා.එවිට අලෙවිය අඩු වෙනවා.දැන් තීරු බදු ප්‍රශ්නයෙන් පසු තවත් අඩු වෙන්න යනවා. 2028දී අපට ණය ගෙවන්න පුළුවන්ද යන්න ප්‍රශ්නයක් බව ෆිච් සංවිධානය කියනවා.
මේ ගැන මාධ්‍ය කතා කරන්නේ නැහැ. බයයි.ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ කාලේ මේ ගැන මුළු රටම දැනගෙන හිටියා. සාකච්ඡා කළා. ඇයි අද මේ ගැන කතා කරන්නේ නැත්තේ නැත්තේ?මේ වාර්තා ඔක්කොම තියනවා.නමුත් මාධ්‍ය නිශ්ශබ්ද වී තිබෙනවා.

අප සමාජ අංශයට මුදල් වියදම් කළා.අස්වැසුම ආරම්භ කළා.ඡන්දෙ නිසා එදා අප නතර කළ අස්වැසුම මුදල් අද වනතුරු වියදම් කර නැහැ.තවත් ලක්ෂ හතරකට දෙන්න පුළුවන්. අද ඒ ලක්ෂ හතර ගැන ඒගොල්ල දීපු එකක් වගේ කතා කරනවා.මේ අය අරගෙන යන්නේ අපි වෙන් කරලා මේ වන විටත් වියදම් කළ යුතු මුදල්.

ඊළඟට විදුලි ගාස්තුව අඩු කළා. දැන් එය වැඩි කරන්න එකඟ වී තිබෙනවා.වියදම් ආපහු ලබා ගන්න බව කියමින් මෙය කරන්න යනවා.මැයි හය වැනිදායින් පසු දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා.අපිට ලැබෙන්න තියෙන මුදලුත් ලැබෙන්නේ නැහැ. ආදායම් බදු සහන දුන්නා. බිලියන අනූවක් විතර.ඒ හිඟය හදන්නේ කොහෙන්ද කියා තාම හරියට කියා නෑ.
දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පළමු අදියරේ හොඳයි.ඒ ගැන ජනාධිපතිතුමාට ප්‍රශංසා කළ යුතුයි.දැන් දෙවන අදියරයද අවසන් කළ යුතුයි. එනම් එදා 1989 වසරේ දළදා වහන්සේට පහර දීම සම්බන්ධයෙන් සමාව ඉල්ලිය යුතුයි. එහෙම කළොත් අපි ඔක්කොම හොඳයි කියා කියමු.

එතුමන්ලා සියලු දෙනාම බුද්ධං සරණං ගච්ඡාමි කියන්න ටියුෂන් ගත්තා.මේ වයසෙදි හරි පන්සිල් ගැන ඉගෙන ගන්න එක හොඳයි.මම කියන්නේ ලැජ්ජ වෙන්නේ නැතුව ටියුෂන් ගත්ත ඒක හොඳයි.දැන් රටට බුද්ධං සරණං- ධම්මං සරණං -සංඝං සරණං කියන්න පුළුවන්.

ඒ වගේම දැන් එතුමන්ලා ජයමංගල ගාථා කියන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට උගන්වනවා.මේක කොච්චර හොඳ දෙයක්ද? ඊළඟ සැරේ පාර්ලිමේන්තුව විවෘත කරනකොට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජයමංගල ගාථා කියන්න වෙනවා.එතකොට පිටින් කණ්ඩායම් ගේන්න උවමනා වෙන්නේ නෑ.ඒ ඉතිරියෙන් ආදායම් වියදම් පරතරය පියවා ගන්න පුළුවන්. ඉතින් මේ හොඳ දේවල් ගැනත් කතා කරන්න ඕන

Previous articleපාස්කු ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිසමේ හංගපු වෙළුම් තිබුණේ නෑ : අනුරගේ කතාවට සාගල උත්තර දෙයි !
Next articleපාස්කු ප්‍රහාරයට වසර 6 යි : අනුරගේ පොරොන්දුව කෝ ? චම්පිකගෙන් යෝකර් වැස්සක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here