Home අද පලාත් පාලන මුදල් අහිමි කිරීම විධායක අයිතියක් නොවේ – හිටපු ආණ්ඩුකාරවරු කියති!

පලාත් පාලන මුදල් අහිමි කිරීම විධායක අයිතියක් නොවේ – හිටපු ආණ්ඩුකාරවරු කියති!

260
0

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන පළාත් පාලන ආයතනයකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු අවධාරණය කර සිටියි.

රජිත් කීර්ති තෙන්නකෝන්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ අසාද් සාලි යන හිටපු පළාත් ආණ්ඩුකාරවරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ ජනාධිපතිවර‍යාට, ඇමති මණ්ඩලයට හෝ ආණ්ඩුකාරයකුට පළාත් පාලන ආයතනයකට හිමි ආදායම් අහිමි කිරීම සඳහා කිසිදු අභිමත බලයක් නැති බව පෙන්වාදී සිටියි.

එම ඒකාබද්ධ ප්‍රකාශය පහත දැක්වෙයි.


පලාත් පාලන මුදල් අහිමි කිරීම – විධායක අයිතියක් නොවේ.
— හිටපු ආණ්ඩුකාරවරු කියති

ජනාධිපතිවර‍යාට, ඇමති මණ්ඩලයට හෝ ආණ්ඩුකාරවරයෙකුට පළාත් පාලන ආයතනයකට හිමි ආදායම් අහිමි කිරීම සඳහා කිසිදු අභිමත බලයක් නැත. එනම්, ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැත.

ජනාධිපතිවරයා හෝ වෙනත් අයෙකු ‘ගමේ බලය නම් ඉල්ලන සල්ලි ඇස් පියාගෙන එවන්නම්, බලය වෙන අය අතේ නම් 10 පාරක්වත් හොයලා බලනවා’ යැයි ප්‍රකාශ කිරීම තනිකරම දේශපාලන බලහත්කාරයකි. මන්නාරම පැවති ජන රැළියක දී දෙවන වරට ද මෙම ප්‍රකාශය සිදු කර ඇත. එය ඡන්ද දුෂණයකි. ජනතාව නොමඟ යැවීමකි. එමෙන්ම කිසිදු පදනමක් නැති ප්‍රකාශයකි.

ජනතා ඡන්දයෙන් තේරී පත් කර ගනු ලබන දේශපාලන පක්ෂ, කණ්ඩායම්වලට පලාත් ආණ්ඩුකරණයේ නිදහස පැවතිය යුතුය. විපක්ෂයේ සිටිය දී පෙනී සිටි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බලයට පත්වීමෙන් පසුව විනාශ කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැත. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අණ පනත් මගින් ලබාදී ඇති වගකීම් ඉටු කිරීමට බැදී සිටී. ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ.

බහුතරයක් පලාත් පාලන ආයතනයන් වෙත රජයෙන් ලැබී ඇත්තේ වැටුප් ගෙවීම සඳහා වන ප්‍රතිපාදන පමනී. සේවක වැටුප් නැවැත්වීමේ බලයක් විධායකයට හෝ රාජ්‍ය නිලධාරීන් වෙත නැත. විධායකය හා මහා භාණ්ඩාගාරයට ලැබෙන මුදල් සැලකිය යුතු ප්‍රමාණයක් පලාත් පාලන ආයතන මගින් උත්පාදනය කරන ආදායම් වේ.
පළාත් පාලන ආයතනයන්ට 1. ස්වයං උත්පාදන ආදායම් හා 2. ⁠අයකර ගත හැකි ගාස්තු ලබාගත හැක. මහ නගර සභා විශාල ප්‍රමාණයකට සහ නගර සභා හා ප්‍රාදේශීය සභා යම් ප්‍රමාණයකට ස්වයං උත්පාදන ආදායමෙන් යැපෙන්නට හැකිය.

පළාත් පාලන ආයතන වලට අය කර ගත හැකි මුද්දර ගාස්තු ආදී ගාස්තු එම පනත් වලින්ම ව්‍යවස්ථාපිතව ඇත. මහ නගර සභා ආඥා පනතේ දෙවන උපලේඛණය, නගර සභා ආඥා පනතේ පස්වන උපලේඛණය, ප්‍රාදේශීය සභා පනතේ පළමු හා දෙවන උපලේඛණවල ඒවා නීතිගත කර තිබේ. එම මුලික නීතියට අනුව පලාත් පාලන ආයතනයන්ට හිමි මුදල් අවහිර කළ නොහැකිය. තව ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනයේ 9 උපලේඛණයේ 4.3 වගන්තිය අනුව ද මේ බලය අහිමි කරන්න පළාත් සභාවටත් නොහැකිය.

ජාතික ජන බලවේගය විසින් මුද්‍රණය කර බෙදා හරිනු ලබන අත් පත්‍රිකාවේ ‘ප්‍රාදේශීය සභාවට ප්‍රතිපාදන ලැබෙන්නේ පවතින රජයෙනි. ප්‍රාදේශීය සදභාවේ වෙනත් පක්ෂයක් බලයට පත් වුවහොත් ………..’ ලෙස දැක්වේ. මෙය පට්ටපල් බොරුවකි. කෙප්පයකි. ප්‍රචාරණයට අදාල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි.

ප්‍රාදේශීය ආණ්ඩු පිහිටුවන්නේ ජනතා ඡන්දයෙනි. එහි නියෝජිතයින්ට ඇති බලය කැබිනට් අමාත්‍යවරුන්ට හෝ නැත. මහජන ඡන්දයෙන් පත්වන කිසිදු ආයතනයකට මුල්‍ය අවහිරතා ඇති කිරීමට කිසිදු ශිෂ්ඨ පාලකයෙකුට හැකියාවක් නැත. පලාත් පාලනය යනු ජනතාවගේ එදිනෙදා ජීවිතයට වැදගත්ම පහසුකම් ඉටු කරන ස්ථානය යි. එය දේශපාලනයෙන් නිදහස් විය යුතු අතර, ජනතා සෙත සැලසීම සඳහාම පමණක් විය යුතුය. පාර්ලිමේන්තුවේ බලය හිමි කණ්ඩායම පලාත් ආණ්ඩුවේ බලය ද හිමිකර ගත යුතුය යන්න අශිෂ්ඨ දේශපාලන ව්‍යවහාරයකි. ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමකි.

යම් පළාත් පාලන ආයතනයකට හිමි මුද්දර බදු සහ වෙනත් අරමුදල් අවහිර කිරීමක් සිදුවන්නේ නම් එය සිදු කරන නිලධාරියාට එරෙහිව රිට් ආඥාවක් ලබා ගැනීමේ හැකියාව පවතී.

රජිත් කීර්ති තෙන්නකෝන්/ විධායක අධ්‍යක්ෂ – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
හිටපු ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
හිටපු ආණ්ඩුකාරවර අසාද් සාලි


 

Previous articleතත්ත්වය බරපතළයි : පොලිසිය බාර ඇමතිත් පොලිසි යයි !
Next articleඅනුර හොඳටම කරලා : පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනත උල්ලංඝනය කරලා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here