Home අද මැතිවරණ නීති කඩන කතා එපා – මැකො ජනපතිට දන්වයි : ඒ පුවත...

මැතිවරණ නීති කඩන කතා එපා – මැකො ජනපතිට දන්වයි : ඒ පුවත බොරු – ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වයි !

320
0

මැතිවරණ කොමිසම දෙබිඩි පිළිවෙතක මැයෙන් මව්බිම පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ විසින් සිය සමාජ මාධ්‍ය ගිනුමේ සටහනක් තබා ඇත.

ඒ , “ජනපති කළ ප්‍රකාශයක් ගැන පැමිණිලි රැසක්: ‘මැතිවරණ නීති කඩන කතා එපා’- මැ.කො. ජනපතිට ලියයි “ යනුවෙන් අද (17) මව්බිම පුවත්පතේ මුල් පිටුවේ පළවූ ප්‍රවෘත්තිය සාවද්‍ය බවත් ඊට අදාළ නිවැරදි කිරීම සිදුකරණ ලෙසත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් මව්බිම පුවත්පතේ ප්‍රධාන ක‍ර්තෘට දැනුම්දීමත් සමඟ මතුව ඇති තත්ත්වය සමඟය.

ඉහත පුවතට අදාළව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නිකුත්කළ ලිපියෙහි දැක්වෙන්නේ අදාළ සියළු පාර්ශ්වයන් වෙතින් විමසා බැලූ විට පුවතෙහි සඳහන් ආකාරයේ ලිපියක් ජනාධිපති ලේකම් වෙත යොමුකිරීමට මැතිවරණ කොමිසම ක්‍රියාකර නොමැති බවයි.

කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ සභාපති ඇතුලු ඔහු වෙනුවෙන් ප්‍රකාශයක් ලබාදීමට යොමුකළ නිලධාරීවරයාගේ ප්‍රකාශය මව්බිම පුවත සඳහා යොදාගත් බව තහවුරු කෙරෙමින් මව්බිම පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ විසින් තැබූ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.


මැතිවරණ කොමිසම දෙබිඩි පිළිවෙතක?

සී.එම්.ඊ.වී ආයතනය ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කරන්නේ 2025.04.02 වැනිදාය.

මේ ගැන කළ විමසීමේදී මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයකු ඊයේ(16) පැවසුවේ මෙවැනි ප්‍රකාශ මැතිවරණ නීති උල්ලංඝනයක් බව දක්වමින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකළ බවයි.

එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අද මව්බිම පුවත්පතට කතා කර පවසන්නේ එසේ ලිපියක් යොමුකර නැති බවයි.

අදාළ ලිපිය ජනාධිපති ලේකම්වරයාට යොමුකළ බවට වූ ප්‍රකාශය ‘මව්බිම’ට කළ ප්‍රකාශකයා සම්බන්ධ කරනු ලැබුවේ ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසිනි.

එම නිසා අපට කියන්නට ඇත්තේ ‘මැතිවරණ කොමිසම කතා දෙකක් කියයි’ යන්න පමණි.

ප්‍රවෘත්තියේ සම්පූර්ණ වගකීම ගනිමි.

පැමිණිල්ලක් ලැබී සති දෙකකුත් ඉක්ම යන තෙක් පියවරක් නොගන්නා මැතිවරණ කොමිසම ගැන මැදිහත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සියලු දෙනාගේ කාරියකි.”


පහත දැක්වෙන්නේ මව්බිම පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ විසින් මැතිවරණ කොමිසම දෙබිඩි පිළිවෙතක යන්න තහවුරු කිරීමට වගකීම බාරගත් පුවතය.

“මැතිවරණ නීති උල්ලංඝණය වන දේශපාලන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි සඳහන් කරමින් මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමට කළ පැමිණිලි පදනම් කරගෙන මෙම ලිපිය යොමුකර ඇති බව එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගයට පළාත් පාලන මැතිවරණයේදී බලය හිමි නොවන ආයතනවලට ප්‍රතිපාදන වෙන් නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක දේශපාලන වේදිකාවලදී ප්‍රකාශ කිරීමෙන් මැතිවරණ නීති උල්ලංඝණය වී ඇති බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙසේ පැමිණිලි කර තිබිණි.

එම ප්‍රකාශයේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පනතේ 82සී (අනිසි බලපෑම්) සහ 82 ඩී (උපරිම වාසි පොරොන්දු කිරීම්/දීමනා) වගන්තිවල පැහැදිලි නීති උල්ලංඝණ යක් බව නිරීක්ෂණ සංවිධාන පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයා සාමාන්‍ය මන්ත්‍රිවරයෙකු නොවන අතර මුදල් පැවැරුම් සම්බන්ධයෙන් තීරණය කෙරෙන පරිදි බලය ඇත්තේ ඔහු වෙත බව ත් එම නිසා මෙවැනි ප්‍රකාශ වඩාත්ම නීති විරෝධී ජාතික මට්ටමේ බලපෑමක් ඇති කරන බව ත් එහි දැක්වේ.ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවරකට යෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35-1 වගන්තිය මගින් අවහිර කර ඇති බැවින් මැතිවරණ කොමිසම මෙසේ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුවත් කර ඇතැයි එම කොමිසම් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

“යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවකදී ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහිලා හෝ නිල තත්ත්වයෙහිලා කරන ලද හෝ නොකරන ලද ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවැරීම හෝ පවත්වාගෙන යෑම නොකළ යුත්තේය” යනුවෙන් එහි සඳහන් වේ.”

එම පුවත සාවද්‍ය බව දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

සංස්කාරක සටහන : දැන් ප්‍රශ්නය නම් කවුද ඇත්ත කියන්නේ යන්නය. එක් පසකින් ජනාධිපති අනුර කුමාර දිසානයක මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඇති නිර්ලැජ්ජිත ආකාරය මැතිවරණ නිරීක්ෂකයන් පැහැදිලිව පෙන්වාදී ඇත. ඒ නිවැරදි බව පැවසීමට අංජනම් බැලිය යුතු නැත. එසේ නම් ඊට අදාළ කඩිනමින් ක්‍රියාකාරීවීම මැතිවරණ කොමිසමේ කාර්‍ය භාරය වෙයි.

එසේනම් “යවපු නැති ලිපියක් යැව් බව කියමින් මැතිවරණ කොමිසම සාවද්‍ය ප්‍රකාශයක් සිදුකරා නම් එය මුළුමනින්ම ජනතාව නොමඟ යැවීමකි. දැනුවත්ව සිදුකළ වරදකි. විශේෂයෙන් මැතිවරණ සමයක මෙවැන්නක් සිදුකිරීම කිසිඳු සමාවක් දිය නොහැකි වරදකි.

නමුත් ලිපියක් යවා තිබියදී කුමන හෝ බලපෑමකට දැන් එය ප්‍රතික්ෂේප කරනවා නම් එයත් මැතිවරණ කොමිසමේ කොන්ද පිළිබඳව ප්‍රශ්නයක් වෙයි. අනෙක් අතර පුවත්පත සාවද්‍ය පුවතක් වාර්තා කළා නම් එය වහාම නිවැරදි කිරීමට පුවත්පතට දැනුම්දීමේ වගකීම ද මැතිවරණ කොමිසමේ යිතුකමම්ම් වෙයි

වඩාත් අවාසනාවන්ත සිදුවීම නම් මේ හැසිරීම හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සහ සාමකාමී මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් පිහිටුවාගෙන ඇති ස්වාධීන මැතිවරණ කොමිසම ගැන ජනතා විශ්වාසය පළුදු කිරීමකි. එබැවින් කවුද ඇත්ත කියන්නේ යන්න හෙළිදරව් කිරීම මැතිවරණ කොමිසමේ කාර්‍ය්යකි.

Previous articleදියර කිරි සහ යෝගට් වැට් බද්දෙන් නිදහස්
Next articleඅපේක්ෂකයින් 18 දෙනෙකුට නඩු – පොලිස් මූලස්‌ථානය!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here