පොරොන්දු වූ පරිදි පොහොර සහනාධාරය ලබාදීමට ආණ්ඩුව තවමත් පියවර ගෙන නැති බවට ගොවි සංවිධාන චෝදනා කරති.
මේ හේතුව නිසා අම්පාර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක වී වගා කළ ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණපා සිටින බවව ගොවි සංවිධාන කිහිපයක නියෝජිතයෝ පැවසූහ.
ඇතැම් ප්‍රදේශවල යල කන්නේ වී වගාවේ ගොයමට මේවන විටට දින 10-15 ක කාලයක් ගතව ඇතත් එම වගාවන් සඳහා යුරියා පොහොර යෙදිය යුතුව ඇත්තේ මේ කාලය තුළ බව ගොවීන් පවසයි.
ගොවි ජනතාවට අවශ්‍ය සියලු පොහොර වර්ග නිසි වෙලාවට ලබා දෙන බවට කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ දේශපාලනඥයින් පොරොන්දු වුවද මේ වනවිට ඔවුන්ට සොයා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව ගොවියෝ පවසති.
ඇතැම් ප්‍රදේශවල මඩ පොහොර වැනි පොහොර වර්ග මිලදී ගැනීමටවත් වෙළඳපොලේ නැති බවට ගොවියෝ චෝදනා කරති.
කෙසේ වෙතත් පොහොර සහනාධාරය ලබාදීම තවදුරටත් ප්‍රමාද වුවහොත් යල කන්නයේ වගාවන් විනාශ විය හැකි බව පෙන්වා දෙන ගොවීන් වහාම පොහොර සහනාධාරය ලබාදෙන ලෙස ආණ්ඩු වෙන් ඉල්ලා සිටියි.