Home අද අප්‍රේල් 21 ට පාස්කු ප්‍රහාරයට වසර 6 යි : අනුර කියූ ලෙස...

අප්‍රේල් 21 ට පාස්කු ප්‍රහාරයට වසර 6 යි : අනුර කියූ ලෙස රවි සහ ශානි වැඩ පෙන්නයිද ?

205
0

එළැඹෙන අප්‍රේල් 21 වනදාට පාස්කු ප්‍රහාරය එල්ලවී වසර 6ක් පිරෙන අතර එදිනට පෙර මෙම ප්‍රහාරයට වගකිවයුතු පිරිසක් අනාවරණය කිරීමේ අභියෝගයට අදාළ විමර්ශන භාරව සිටින නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මුහුණදී සිටිති.

ඒ මේ සම්බන්ධ පොරොන්දුව පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානයක විසින් ප්‍රසිද්ධ වේදිකාවක අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙන බැවිනි.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානයක පවසා සිටියේ පාස්කු ප්‍රහාරයට වසර 6ක් පිරෙන 2025 අප්‍රේල් 21 වනදාට පෙර ප්‍රහාරයට වගකිවයුතු කණ්ඩායමක් අනාවරණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැපවී සිටින බවයි.

අදාළ දිනය සම්පූර්ණ වීමට තවත්  තිබෙනුයේ දින 9ක පමණ කාලයක් වන අතර ඒ අනුව මෙකී දිනයට පෙර දැන් සිදුවන විමර්ශනයට අදාළව නව සාක්ෂි අනාවරණය කෙරෙණු ඇති බව පාස්කු ප්‍රහාරයට අදාළව යුක්තිය අපේක්ෂා කරන කාගේත් බලාපොරොත්තුව වී තිබේ.

2019 අප්‍රේල් 21 වනදා පාස්කු දින එල්ලවූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ජීවිත 260 ක් පමණ අහිමි කෙරුණු අතර තවත්  විශාල පිරිසක් තුවාල ලැබුවා පමණක් නොව, මෙරට දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍ර ද උඩුයටිකුරු කළේය.

මේ සම්බන්ධව වැදගත් තොරතුරු රැසක් සහිත ගවේෂණාත්මක ලිපියක් “As the Easter Sunday breakthrough deadline approaches, Ravi and Shani face make-or-break situation” The Sunday Times විසින් පළකර තිබේ.

එහිදී පසුගිය මාර්තු 31 වන දා, TMVP නායක හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලයන්) මඩකලපුවහිදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම, ඒ, 2006 දෙසැම්බර් 15 කොළඹ , බෞද්ධාලෝක මාවතේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගැනීම හා අතුරුදහන් කිරීම යන චෝදනාව යටතේ වීම , පාස්කු ප්‍රහාරය සම්බන්ධවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිල්ලෙයාන් ගෙන් ප්‍රශ්නකර තිබීම සහ පිල්ලෙයාන් 2015-2020 කාලයේ මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි සමයේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ චෝදනා ගැනද ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.

තවද ඇමරිකා එක්සත් ජනපදයේ FBI හි ප්‍රධාන විමර්ශක මෙරිලී ආර්. ගුඩ්වින් ගේ පිටු 71 ක වාර්තාවක් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ හමුදා බුද්ධි අංශ අතර යම් මතභේදයක් ඇතිකළ වවුනතිව් සිදුවීම, යහපාලන සමයේ පත්කළ කමිටුවක් විසින් ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න වෙත එල්ලවූ චෝදනා, මෙන්ම ආන්දෝලනාත්මක තොරතුරු රැසක් සහ වත්මන් ආණ්ඩුවට කතෝලික සභාව වෙතින් එල්ලවී තිබෙන පීඩනය සම්බන්ධවද පුළුල් විග්‍රහයක් සන්ඩේ ටයිම්ස් වාර්තාවේ දැක්වෙයි.

අදාළ සන්ඩේ ටයිම්ස් වාර්තාව පහත සබැඳියෙන් : https://www.sundaytimes.lk/250413/columns/as-the-easter-sunday-breakthrough-deadline-approaches-ravi-and-shani-face-make-or-break-situation-594804.html

මේ සම්බන්ධව අදහස් දක්වන විචාරක මතය වී තිබෙන්නේද පාස්කු ප්‍රහාර විමර්ශනය, වත්මන් ආණ්ඩුව සම්බන්ධව ලිට්මස් පරීක්‍ෂාවකට සමාන වනු ඇති බවයි.

කටුවාපිටිය පල්ලියට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ බෝම්බකරුවාගේ බිරිඳ බව සැළකෙන පුලස්තිනි රාජේන්ද්‍ර නොහොත් සාරා මේ වන විටත් ඉන්දියාවට පළාගොස් තිබෙන බව පැවසෙන අතර, ඇයව විමර්ශන සඳහා ඉන්දියාව වෙතින් ඉල්ලා නොසිටීම සම්බන්ධව, හිටපු ආණ්ඩු වෙත එවකට විපක්ෂයේ සිටි ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත‍්‍රීවරුන් නිර්දය ලෙස සිදුකළ විවේචනද විචාරකයන් සිහිපත් කරයි.

එක් විචාරකයෙකු වැඩිදුරටත් පවසා සිටියේ, මේ මොහොතේ ජාතික ජනබලවේගය රාජ්‍ය බලය ලබා සිටින නිසා රාජතාන්ත්‍රික මැදිහත්වීමක් හරහා “සාරා” වෙතින් සත්‍ය අනාවරණය කරගැනීමට, ඇයව මෙරට විමර්ශකයන් වෙත ගෙන දීමට අවස්ථාව ජාතික ජනබලවේගය ආණ්ඩුව සතු බවයි

Previous articleපිල්ලෙයාන්ට එරෙහිව රැඳවුම් නියෝගයක් අරගෙන !
Next articleකලා කෙත අස්වද්දන වැඩක් : මියයන කලාකරුවන්ට උසස් අවමංගල්‍ය ශාලාවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here