Home අද මැයි මාසේ ඉවර වෙන්න කලින් වෙනස් වෙන්න – නැත්නම් වෙනස් කරනවා –...

මැයි මාසේ ඉවර වෙන්න කලින් වෙනස් වෙන්න – නැත්නම් වෙනස් කරනවා – ජනපති

169
0

අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින් නිලධාරි යාන්ත්‍රණය ද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (අප්‍රේල් 9) පැවති “ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029” එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.

ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් මේ වන විට ලබා දී ඇති බව ත් නිලධාරී යාන්ත්‍රණය නිවැරදි නොවන්නේ නම් ලබන මැයි මාසයෙන් පසුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ත් ජනාධිපතිවරයා පැවසීය.

මෙරට රාජ්‍ය ආයතන පද්ධතියේ ගෞරවය හා වටිනාකම් විනාශ කරමින් අල්ලස හා දූෂණය රජ වී ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය මාස හය තුළ රාජ්‍ය සේවයේ කිසිදු ස්ථානයක් බිඳ වැටීමට ඉඩ නොතැබූ බව ත් නිලධාරී යාන්ත්‍රණය වෙනස් වීමට තවදුරට ත් සූදානම් නොවන්නේ නම් මෙම මැයි මාසයෙන් පසු එම නිලධාරීන් වෙනස් කිරීමට කටයුතු කරන බව ත් ඔහු සඳහන් කළේ ය.

අල්ලස හා දූෂණය නැමැති අපරාධය නිසා ශ්‍රී ලංකාව ලෝකය තුළ දශක ගණනාවක් පසුපසට ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් නොව මානුෂීය යුතුකමක් බවද අවධාරණය කළේ ය.

නීතියට අනුගත වන හා නීතියට බියවන සමාජයක් ගොඩනැඟිය යුතු අතර ඊට දේශනා, වැඩමුළු ප්‍රමාණවත් නොමැති බව ත් අපරාධයකට දඬුවමක් ලැබෙන බව ප්‍රායෝගිකව තහවුරු කළ යුතු බව ත් ජනාධිපතිවරයා පැවසීය.

Previous articleට්‍රම්ප් බදු පනවන්න ගත් තීරණය දින 90කට අත්හිටුවයි
Next articleවසාවිලාන් – පලාලි ප්‍රධාන මාර්ගය වසර 34කට පසු යළි විවෘත වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here