ස්ථාවර නියෝග අනුව මුදල් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂය වෙත ලබාදීමට කටයුතු කර තිබුණත් එය වගකීම් විරහිත ලෙස හෝ තර්ජනාත්මකව භාවිතා කරනවා නම් ස්ථාවර නියෝග අත්හිටුවා කටයුතු කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.
සභානායක බිමල් රත්නායක මේ බව සඳහන් කර සිටියේ අද (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා බදු ආදායම් එකතු කිරීමට අදාළ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විවේචනය කරමින් අදහස් දක්වමින් සිටියදීය.
එහිදී සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය වැරදි සහගත බව මන්ත‍්‍රීවරයා පෙන්වාදී ඉන් අනතුරුව කැසිනෝ වෙතින් බදු අයකර ගැනීමේ බරපතළ අඩුපාඩුවක් ඇති බව පෙන්වාදීමට සූදානම් වනවාත් සමඟ නැගීසිටි සභානායක බිමල් රත්නායක ඉහත ප්‍රකාශය සිදුකර සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා පවසා සිටියේ ගෝඨාභය රාජපක්‍ෂ පාලනයද ස්ථාවර නියෝග අත්හිටුවා ඔය කියන ආකාරයට විපක්ෂයට අවස්ථාව නොදී කටයුතු කළ බවයි.
කෙසේ වුවත් අනතුරුව හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා online කැසිනෝ වෙතින් කොහෙත්ම බදු අයකර ගැනීමක් සිදුනොවන බව පවසා, බදුපිට බදු පැටවීම වෙනුවට මෙකී අඩුපාඩු සකසා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් අදහස් දැක්වීමට කටයුතු කළේය.
එහිදී නැවත නැගීසිටි සභානායක අමාත්‍ය බිමල් රත්නායක සිය ස්ථාවරය නැවත තහවුරු කළ අතර, මෙකී ප්‍රකාශ මාධ්‍ය වලට නිකුත්වන බවත් එබැවින් ආණ්ඩුව ලබාදී ඇති අවස්ථාව අවභාවිතයක් හෝ තර්ජන, බ්ලැක්මේල් ලෙස භාවිතා නොකළ යුතු බවත් සඳහන් කළ අතර එසේ නොවුවහොත් සළකා බැලීමට සිදුවන බව සඳහන් කළේය .