සෞඛ්‍ය වෘත්තිකයකු වී සෞඛ්‍ය සේවාවේ සාපේක්ෂ අනන්‍යතාවය, රුපියල් සතවලට යට කරන්න නලින්ද ජයතිස්ස ඇමතිවරයා දරන උත්සාහය පිළිබඳව කණගාටු වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර මූලික වැටුප් වැඩි කරා කියලා සෞඛ්‍ය සේවකයන්ගේ විතරක් දීමනා කපන්න, ආණ්ඩුවට තියෙන විශේෂ තරහ මොකක්ද ? කියාද ප්‍රශ්න කර සිටියේ ය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
පහුගිය වෘත්තීය සමිති සටන් ගැන කියලා මට බනින්න නලින්දට බෑ. මොකද පහුගිය සටන්වලදී නලින්ද හිටියෙත් මම හිටපු ගොඩේම තමයි. හරිනි පළවෙනි වැටුප්තල දහය අතරට ගුරුවරුන්ව ගේනකොට, නලින්ද පළවෙනි වැටුප්තල දහය අතරේ හිටපු සෞඛ්‍ය වෘත්තිකයන්ව පල්ලෙහාට ඇදලා දැම්මා. සෞඛ්‍ය වෘත්තිකයෙක් වෙලත්, සෞඛ්‍ය සේවාවේ සාපේක්ෂ අනන්‍යතාවය, රුපියල් සතවලට යට කරන්න නලින්ද ජයතිස්ස ඇමතිවරයා දරන උත්සාහය ගැන අපි කණගාටු වෙනවා. මොනම ආණ්ඩුවකින් හෝ දීමනා කැපුවෙ නෑ. මූලික වැටුප වැඩි කරා කියලා, මූලික වැටුපෙන් අනුපාතයක් විදියට ගන්න දීමනා කපන එක මොනම ආණ්ඩුවකින්වත් කරපු දෙයක් නෙවෙයි. විස්සෙන් එකක්ව තිබ්බ දීමනාවක් තිහෙන් එක කරන්නත්, එකසිය හැටෙන් එකක් විදියට තිබ්බ දීමනාවක් දෙසියෙන් එක කරන්නත් නලින්ද ජයතිස්ස ඇමතිවරයා හෝ ආණ්ඩුව කරපු අධ්‍යයනය මොකක්ද? මේ දීමනාවන් හදන්න ගොඩක් දේවල් අධ්‍යයනය කරලා තියෙනවා, ගොඩක් අරගල කරලා තමයි ඒ අයිතිවාසිකම් සෞඛ්‍ය වෘත්තිකයෝ දිනාගෙන තියෙන්නේ. රුපියල් සත වැඩි වෙනවා කියලා ඒවා ආපස්සට හරවන්න පුළුවන් කියලා සෞඛ්‍ය ඇමතිවරයෙකුට හිතෙන එක බරපතළයි.