අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇදහැලුණ ධාරානිපාත වර්ෂාව නිසා රටේ වගාබිම් තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක් පමණ ජලයෙන් යටවී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තහවුරු කරයි.
යට වූ වගා බිම් වලින් තාමත් ජලය බැසගොස් නැති නිසා නිශ්චිත වශයෙන් වගා හානි කොපමණ ප්‍රමාණයක් සිදුව ඇත්ද යන්න ගණන් බැලීමට නොහැකි වී ඇති බවත් ජලය බැසගිය පසුව ඒ පිළිබඳව සොයා බලා වන්දි ගෙවීම ආරම්භ කරන බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.
ජලය බැස ගොස් ඇති ප්‍රදේශවල වගා හානි සම්බන්ධව මේ වන වන විට සංඛ්‍යා ලේඛන එක් රැස් කරමින් සිටින බව අනාවරණය කළ එම නිලධාරියා වර්ෂාව නතර වූ වහා අනෙකුත් ප්‍රදේශවල නිසි සංඛ්‍යා ලේඛන ලබාගත හැකි වනු ඇති බව සඳහන් කළේය.
මේ අතර වගා හානි සිදුව තිබෙන වී, ලොකු ලූනු, මිරිස්, අර්ථාපල්, බඩ ඉරිඟු, සෝයා යන වගාවන් හය සඳහා පමණක් අක්කර එකකට රුපියල් 40.000 බැගින් වන්දි ලබාදිය හැකි වන බවත් විනාශ වූ සෙසු භෝග සඳහා ගනු ලබන පියවර තවමත් නිශ්චිත වශයෙන් තීරණය කර නැති බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.