රැකියා විරහිත උපාධිධාරීන් කිහිපදෙනෙක් අද (29) ජනාධිපතිවරයා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් තිබෙන අතර ජනාධිපතිතුමා හමුවී සාකච්ඡාවට අවස්ථාවක් නොලැබීමෙන් ඔවුන් විසින් ලිපියක් භාර දීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුන්ට ඉදිරියේ දී දිනයක් ලබා දෙන බවයි.
වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති වීමට පෙර අවස්ථා කිහිපයකදී හමුවී සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවලදී වර්තමාන ජනාධිපතිවරයා තමා බලයට පත් වූ විගස රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බවට පොරොන්දු වූ නමුත් ජනාධිපති බවට පත්වී මාස දෙකකට වැඩි කාලයක් ගත වුව ද තමන්ගේ ගැටලුවලට තවමත් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවට ඔවුන් චෝදනා කර සිටී.