Site icon Newshub

ඡන්ද සටනේ අවසන් රැළි පැවැත්වෙන තැන් මෙන්න

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

එසේ වුවත් අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සඳහා හෙට (12) මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

මෙවර මහ මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන ඇති අවසන් ප්‍රචාරක රැලි අද(11) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ගම්පහ නගරසභා පිටියේදී හා පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සමගි ජන බලවේගයේ අවසන් මහා රැලිය එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අලුත්කඩේ මංසන්ධියේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජනහමුව තංගල්ල කාල්ටන් නිවාස පරිශ්‍රයේදී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

සර්වජන බලය පක්‍ෂයේ අවසන් ප්‍රචාරක රැලිය එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගමදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

Exit mobile version