Home අද අපිට රනිල් කෙනෙක් හිටියා. බංග්ලාදේශයට රනිල් කෙනෙක් නෑ. වෙනස ඒකයි –...

අපිට රනිල් කෙනෙක් හිටියා. බංග්ලාදේශයට රනිල් කෙනෙක් නෑ. වෙනස ඒකයි – වක්කුඹුර

619
0

හැමෝටම ජනාධිපති අපේක්ෂකයන් විය හැකි නමුත් ජනාධිපතිධූරයට පත්වීමට හැමෝටම හැකියාවක් නැති බව පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ අභියෝගාත්මක මොහොතේ අභියෝගය භාර නොගත් අය දැන් ජනාධිපති අ‍පේක්ෂකත්වයට ඉදිරිපත්වන බවයි.

තමන් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට තීරණ කළේ මහජන හඬට ඇහුම්කන් දීමෙන් පසුව බව කී රාජ්‍ය අමාත්‍යවරයා මහජන නියෝජිතයන් සෑම විටම මහජන හඬට ඇහුම්කන් දියයුතු බවද අවධාරණය කළේය.

“එක්ව ජයගමු” තේමාව යටතේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුව බම්බලපිටිය ලොරිස් මාවතේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

2022දී මේ රටේ ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවේදි ඒ ප්‍රශ්න විසඳන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිතුමාට සහාය ලබා දුන්නා. මොකද කවුරුවත් ඒ වෙලාවේදි රට භාර ගන්න ඉදිරිපත් වුනෙත් නෑ. අපිට විශ්වාසයක් තිබුණා මේ රට නැවත පෙර තිබුණු තැනින් එළියට ගේන්න ජනාධිපතිතුමාට හැකියාව ලැබේවි කියලා. එතුමා අපි බලාපොරොත්තු වුණ ආකාරයටම ඒ අභියෝගය සාර්ථකව ජයගත්තා.

ඒ නිසා ඉදිරි අවුරුදු පහේදීත් ජනාධිපතිතුමාට සහාය දෙන්න අපි තීරණය කළා. කකුලෙන් අදින්නේ නැතුව එතුමට ඒ අවස්ථාව දෙන්න කියලා කියන්නේ ජනතාවයි. නමුත් සුළු පිරිසකට ඒක තේරෙන්නෙ නෑ. මහජන නියෝජිතයන් සෑම විටම මහජනතාවට ඇහුම්කම් දෙන්න ඕන. අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙන් දානවා කිව්වට තාම දාලා නෑ. පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩි පිරිසක් ඉන්නේ කොහෙද කියලා බලන්න. වැඩි පිරිසක් ඉන්න තැනයි වැඩි බලයක් තිබෙන්නේ. හරි පොදුජන පෙරමුණ තියෙන්නේ අපි ළඟයි.

පොදුජන පෙරමුණ නිර්මාණය කළේ අපි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙලයි පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ. පක්ෂයේ සාමාජිකත්වය ගන්න කොට ශ්‍රීලනිප අපිව ගෙදර යවනවා කිව්වා. ඒවාට බය වුණේ නෑ. ගෙදර යන්න බලාගෙන පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා. ජනාධිපතිවරණයෙන් පස්සේ කවුරු ජනාධිපති වුණත් මේ රටේ මහ මැතිවණයක් තියන්න ඕනේ ජනතා මතයට හිස නමලා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනතා මතය හරියටම බලන්නට පුළුවන්.

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කලා. ඒ නිසා කිසිම දේශපාලන පක්ෂයකින් එතුමා ජනාධිපතිවරණයට එන්නේ නෑ. දැන් අපේක්ෂකයන් ඇප බඳිනවා. ඒ බොහෝ දෙනා පාර්ලිමේන්තුවෙදි ජනාධිපතිතුමාට සහය දීපු අයයි. අභියෝගය භාර ගන්න බයේ පැනල ගිය අය දැන් ජනාධිපතිවරණයට ඉල්ලනවා. ඒ අයට එදා රට භාර ගන්න බැරිවුණේ ඇයි.

අද බංග්ලාදේශයට වෙච්ච දෙය තමයි එදා අපේ රටේ වෙන්න ගියේ. ඒ අරගලකරුවන් හැසිරෙන්නෙත් අපේ රටේ අරගලකරුවන් හැසිරුණ විදියටමයි. හැබැයි එක වෙනස්කමක් තිබෙනවා. බංග්ලාදේශ අරගලකරුවන් රටේ පාර්ලිමේන්තුව බලය අල්ල ගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩ බලන ජනාධිපතිවුනේ නැත්නම් අපේ පාර්ලිමේන්තුවට වෙන්නෙත් ඕකමයි. පාර්ලිමේන්තුව බේරලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා දුන්නේ වත්මන් ජනාධිපතිතුමයි. ඒ නිසා අද අපි සියළු දෙනා එතුමාට සහාය දක්වනවා.

මේ රට අර්බුදකාරී තත්ත්වයක තිබියදීත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයින්⁣ගේ පඩිය රුපියල් 10,000කින් වැඩි කලා. රාජ්‍ය සේවකයින් 8,400ක සේවය ස්ථිර කළා. ගෝඨාභය ජනාධිපතිතුමා පත් කළ බහුකාර්ය සේවකයින් 21,000ක පමණ සේවය ස්ථිර කළා. ‍ලෝකයේ වෙනත් රටවල්වලට සාපේක්ෂව මෙරට ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශිත පිරිස සියයට 85 ක් පමණ වෙනවා.

හැමෝටම ජනාධිපති අපේක්ෂකයන් වෙන්න පුළුවන්. හැබැයි ජනාධිපති වෙන්න බෑ. වත්මන් ජනාධිපතිතුමා බැරි දේවල් කියන්නේ නෑ. එතුමා කියන්නේ තමන්ට කරන්න පුළුවන් දේවල් විතරයි.

පළාත් පාලන මැතිවරණයට උසාවි නඩු හතරක් විභාග වෙනවා. ඒ මැතිවරණයට නාම යෝජනා ලබා දුන්න පක්ෂත් අද නෑ. නාම යෝජනා දුන් ගොඩක් අය එය අවලංගු කර දෙන මෙන් ඉල්ලා සිටිනවා. ඒ ගැන සලකා බලන්න අපි බලනවා. 2023 ඡන්ද නාම ලේඛනයට තමයි මැතිවරණය තියන්න හැදුවේ. 2024 ඡන්ද නාම ලේඛනයට ජනාධිපතිවරණ මැතිවරණය තියන්නේ. ලක්ෂ නවයක් අලුත් ඡන්ද දායකයින් පිරිසක් ඉන්නවා.

අද පළාත් සභා පනත සුමන්තිරන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී දෙවනවර කියවීම සඳහා ඉදිරිපත් කළා. මගේ අමාත්‍යාංශයෙන් ඒ සංශෝධන කඩිනමින් ඉදිරිපත් කරනවා. මේ මැතිවරණ වලින් පසුව මනාප ක්‍රමයට පළාත් සභා ඡන්දය අපි නියත වශයෙන්ම තියනවා .

ජනාධිපතිවරණ කාල සීමාවේදී පළාත් පාලන නාම යෝජනා අවලංගු කරන්න පුළුවන්. ඒ විශේෂ විධිවිදාන පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන්න ඕනේ. මීට පෙරත් එවැනි අවස්ථා දෙකක් තියෙනවා. 89 ගණන් වල එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා භාර දුන් විශාල පිරිසක් ඝාතනය කළා. එදා නාම යෝජනා අවලංගු කළේ විශේෂ විධිවිදාන පනතක් ගෙනල්ලයි.

Previous articleවයින් ස්ටෝර්ස් බලපත්‍ර සියල්ල අහෝසි කරනවා – නලින් බණ්ඩාර සජිත් ජනපති වුනාම කරන දේ කියයි
Next articleඅරගලයෙන් පසු අවාමි ලීගයේ නායකයන් 20ක් මරලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here