Home අද ශ්‍රී ලංකා පොලීසියට ලක්ෂ 580ක බල්ලෝ ගෙනෙයි

ශ්‍රී ලංකා පොලීසියට ලක්ෂ 580ක බල්ලෝ ගෙනෙයි

1916
0

පොලිස් නිල සුනඛ අංශය සදහා රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට මෙරටට රැගෙන විත් තිබේ.

අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ආ මෙම සුනඛයින් අතර බෙල්ජියම් මැලිනොයිස් ( Belgiam Malinois ) වර්ගයේ සුනඛයන් 13 දෙනෙකු , ජර්මන් ෂෙපර්ඩ් ( German Shepherd ) වර්ගයේ සුනඛයන්12 දෙනෙකු සහ ඉංග්ලිෂ් ස්පැනියෙල් ( English Spaniel ) වර්ගයේ සුනඛයන් 10 දෙනෙකු සිටින අතර ඔවුන් නෙදර්ලන්තයේ K.- 10 Working Dog නැමැති පෞද්ගලික සත්ව ගොවිපළකින් මිළදී ගෙන තිබේ .

මෙසේ රැගෙන විත් තිබූ සුනඛයන් අතරින් 21 දෙනෙකු ගැහැණු සතුන් වන අතර ඉතිරි 14 දෙනා පිරිමි සතුන් වේ .මොවුන් අතරින් ඉංග්ලිෂ් ස්පෑනියෙල් වර්ගයේ ගැහැණු සතුන් දෙදෙනෙකු මේ වනවිටත් ගර්භණී තත්වයේ පසු වන අතර තවත් බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ බැල්ලියක එම ගොවිපළේ සිටි ශක්තිමත් බල්ලෙකු හා අභිජනනය කර රැගෙන විත් තිබුණි .

මීට පෙර 2018 වසරේ දී ද මේ ආකාරයට පොලිස් නිල සුනඛ කොට්ඨාසය සදහා සුනඛයන් විදේශයකින් ආනයනය කර තිබුණි .

මෙම සුනඛයන් නෙදර්ලන්තයේ සිට කටාර් රාජ්‍යය වෙත ගෙනැවිත් , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් 07/05 දින අලුයම 02.05 ට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත ගෙනැවිත් තිබුණි.

සුනඛයන් භාර ගැනීම සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනය වෙත පැමිණ සිටියේය .

මෙම සුනඛයන් ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනය වෙත රැගෙන විත් , එහි පශු වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් පසුව පොලිස් නිල සුනඛ අංශය වෙත රැගෙන යාම සදහා එම සුනඛයන්ගේ පුහුණුකරුවන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

මෙම සුනඛයන් මෙරටට රැගෙන ඒමට පෙර පොලිස් නිල සුනඛ අංශයේ නිලධාරීන් සහ පශු වෛද්‍ය නිලධාරීන් පිරිසක් විසින් නෙදර්ලන්තයේ එම ගොවිපළ වෙත ගොස් පෞද්ගලිකව එම සතුන්ගේ අස්ථි , ජාන ආදිය පරීක්ෂා කිරීම ද සිදු කර තිබුණි .

මෙම අවස්ථාවේ සිය අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා මෙම සුනඛයන් මාස 08 ත් 12 ත් අතර වයස් වල පසු වන බවත් , ඔවුන් මාස 03 ක පුහුණුවකින් අනතුරුව ශ්‍රී ලංකාව පුරා පිහිටි පොලිස් නිල සුනඛ ඒකක වෙත අන්තර්ග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය .

එසේම මෙසේ සුනඛයන් ආනයනය කිරීමේ දී දැරීමට සිදු වන අධික පිරිවැය අවම කර ගැනීම සදහා මෙම සුනඛයන් යොදා ගෙන මෙරට තුළ දීම නව අභිජනනය ක්‍රියාවලියක් ඇරඇරඹීමට බලාපොරොත්තු වන බව ද පැවසීය .

විශේෂයෙන්ම මෙම සුනඛයන් විෂ මත්ද්‍රව්‍ය අනාවරණය කර ගැනීම සදහා බස්නාහිර සහ දකුණු පළාත් වල රාජකාරී කටයුතු සදහා යොමු කිරීමට අපේක්ෂා කරන බවත් යුක්තිය මෙහෙයුම සදහා මොවුන්ගේ සහාය ද ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් පැවසීය .

මේ වනවිට පොලිස් නිල සුනඛ කොට්ඨාසය සතුව නිල සුනඛයන් 372 ක් සිටින අතර මෙම සුනඛයන් 35 දෙනා ද ඔවුන්ගේ පුහුණුවෙන් පසුව මෙම පොලිස් නිල සුනඛ කොට්ඨාසය වෙත ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

මෙසේ ශ්‍රී ලංකාව වෙත ආනයනය කරන ලද සුනඛයන් භාර ගැනීමේ වැඩසටහන කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතා ඇතුළු එම පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් සංවිධානය කර තිබූ අතර මෙම සුනඛයන් මහනුවර පොලිස් නිල සුනඛ මධ්‍යස්ථානය වෙත විශේෂ බස් රථ මගින් රැගෙන යාමට පියවර ගෙන තිබුණි .

Previous articleමම සූදානම් – පොහොට්ටුව තීරණයක් ගත යුතුයි – ධම්මික පෙරේරා
Next articleණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ලංකාවට වෙනදේ මහබැංකු අධිපති පැහැදිලිකරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here