Home අද කොළඹ ජාතික රෝහලේ අතිනවීන සීටී ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවලට එක් කරයි

කොළඹ ජාතික රෝහලේ අතිනවීන සීටී ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවලට එක් කරයි

2359
0

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ ස්ථාපිත කළ අතිනවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් (128-Slice CT Scan) යන්ත්‍රය ප්‍රතිකාර සේවා සඳහා එක් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) සිදු කෙරිණ.

රුපියල් මිලියන 220ක වටිනාකමකින් යුත් මේ අතිනවීන සීටී ස්කෑන් යන්ත්‍රයට මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දී ඇත.

මේ 128-Slice CT Scan යන්ත්‍රය මඟින් වේගවත්, ආරක්ෂිත වඩාත් නිවැරැදි රෝග විනිශ්චය ලබාදෙන අතර, මෙමඟින් පටක අතර වෙනස හඳුනා ගැනීමට සහ රෝගය තීරණය පහසු කිරීමට අවශ්‍ය රෝග විනිශ්චය දත්ත සපයයි. රෝගියාගේ අපහසුතාවන් සහ විකිරණ නිරාවරණය අවම කරන අතර ඉහළ මට්ටමේ රෝග විනිශ්චය නිරවද්‍යතාවක් සහ කාර්යක්ෂමතාවක් ද මේ අති නවීන සීටී ස්කෑන් යන්ත්‍රයෙන් ලබාදෙයි.

රිය අනතුරු, පහරදීම්, වැටීම් නිසා මොළයට හා සුෂුම්නාවට හානි සිදු වූ රෝගීන්ට, මොළයේ ගැටිති, මොළයේ පිළිකා, මොළයේ සිදු වන ලේ ගැලීම් සඳහා සැත්කම් කළ යුතු රෝගීන්ට, රුධිර පීඩනය වැඩි රෝගීන්ගේ සිදු වන මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම් නැවැත්වීමේ සැත්කම් සිදු කළ යුතු රෝගීන්ට සහ මොළය හා සුෂුම්නාව සම්බන්ධ සැත්කම්වලට යොමු කළ යුතු රෝගීන්ගේ සැත්කමට පෙර හා පසු රෝග තත්ත්වය විනිශ්චය කිරීමට අවශ්‍ය වාර්තා ලබා ගැනීමට මේ සීටී ස්කෑන් යන්ත්‍රය භාවිත කරයි.

ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය ශල්‍යාගාර 10කින්, දැඩි සත්කාර ඒකක 10කින්, අධි නිරීක්ෂණ ඒකක 02කින් සමන්විත වන අතර, දැඩි සත්කාර ඒකකයේ ඇඳන් ධාරිතාව 200කට අධිකය. අති නවීන වෛද්‍ය උපකරණවලින් මෙන්ම විශේෂ පුහුණුව ලත් වෛද්‍ය, හෙද ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලවලින් මේ අංශය සමන්විතය.

මෙරට රජයේ රෝහලක ස්ථාපිත විශාලතම හා ප්‍රධානතම ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය මෙය වන අතර (Helipad) හෙලිකොප්ටර් ගොඩබෑමේ පහසුකම්වලින් ද මේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය සමන්විත වේ. ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (තෘතියීක සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු යන මහත්වරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

Previous articleඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ අරඹයි
Next articleමිල අධික Silver Tips තේ වගාව දකුණේ ප්‍රචලිත කිරීමට යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here