Home අද ඇමරිකානු ෆෙඩරල් අධිකරණයෙන් ලංකාවට දින 10ක සහනක් : නැත්නම් වැඩ වරදියි!

ඇමරිකානු ෆෙඩරල් අධිකරණයෙන් ලංකාවට දින 10ක සහනක් : නැත්නම් වැඩ වරදියි!

734
0

ශ්‍රී ලංකාවට එරෙහිව හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් නිවුයෝර්ක් ෆෙඩරල් අධිකරණයේ ගොනු කොට ඇති නඩුව විභාගයට ගැනීම නොවැම්බර් මස අවසානය දක්වා තාවකාලිකව අත්හිටුවා ඇත.

වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා රජය විසින් සිදුකළ ඉල්ලීමක් අනුව මෙම තීන්දුව ගෙන තිබේ.

ස්වෛරී බැඳුම්කර සඳහා වන ගෙවීම් ලබාගැනීම වෙනුවෙන් අදාල නඩුව ගොනුකර ඇති අතර , ඒ අනුව හැමිල්ටන් රිසර්ව් බැංකුව සහ එම බැංකුව වෙත බලය පවරා ඇති අනෙකුත් පාර්ශ්ව වෙත ශ්‍රී ලංකා රජය විසින් ස්වෛරිත්ව බැඳුම්කර වල මුහුණත අගය ලෙස ඩොලර් 242,990,000ක් සහ කූපන් පොලිය ලෙස ඩොලර් 7,137,831.25ක් වශයෙන් ඩොලර් මිලියන 250ක් පමණ මුදලක් ආපසු ගෙවිය යුතුව ඇත.

මෙකී නඩු පැවරීම සිදුවන්නේ ශ්‍රීලංකාව 2022 වසරේ අප්‍රේල් මාසයේදී බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශ කිරිම සමඟය. එහිදී නඩුව විභාගයට ගැනීමට පෙර ශ්‍රී ලංකාව විසින් ඊට අදාල මූලික විරෝධතා ඉදිරිපත් කළ නමුත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරිණ.

නමුත් 2023 ඔක්තෝම්බර් මාසයේදී ලංකා රජය විසින් අධිකරණය වෙතින් ඉල්ලා තිබුණේ, ශ්‍රීලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා බාධාවක් වන බැවින් නඩුවේ තීන්දුව ලබා දීම ප්‍රමාද කරන ලෙසය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ නීතිපති මෙන්ම එක්සත් රාජධානිය හා ප්‍රංශයද අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර ඒ නිසාම එකී ඉල්ලීම ෆෙඩරල් අධිකරණය පිළිගනු ලැබිය.

ඒ අනුව 2024 පෙබරවාරි මාසය තෙක් මාස හතරක පමණ කාලයකට නඩු තීන්දුවක් ලබා දීම ප්‍රමාද කෙරිණ. පසුව 2024 මාර්තු මාසයේදී ද අදාල තීන්දුව තවත් මාස 5කින් දීර්ඝ කිරිමට ඉල්ලා තිබේ.

කෙසේ වුවත් පසුගිය ඔක්තෝබර් 1 වනදා ද හැමිල්ටන් රිසර්ව් අධිකරණයට ලිපියක් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත්වීම හමුවේ මෙරට ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැකසංකා පළකර තිබුණි. නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් ලංකා රජය වෙනුවෙන් ක්ලිෆර්ඩ් ඇන්ඩ් චාන්ස් සමාගම පසුගිය ඔක්තෝබර් 04 වනදා අධිකරණයට දන්වා සිටියේ, නව රජය විසින්ද හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය අවසන් කිරීමට කටයුතු කරනු ඇති බවය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතා අනුව දිගටම කටයුතු කෙරෙනු ඇති බවයි.

නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය මේ කරුණු සැලකිල්ලට ගෙන තෙවන වරටත් නඩුව විභාගයට ගෙන තීන්දුව ලබාදීම කල්දමා ඇති නමුත් ඒ දින 10ක කාලයක් සඳහා ය.

ඒ අනුව ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටත් ඊට සමගාමීව ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්ත දෙසැම්බර් මාසය තුළ සාර්ථක ලෙස අවසන් කර ගැනීමට අවශ්‍යය. නැතිනම් යළිත් නිවුයෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවට යාමට මෙරටට සිදුවන අතර එහිදී ලැබිය හැකි තීන්දුව ලංකාවට වඩාත් අවාසිදායක වන බව මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ මතය වී තිබේ.

Previous articleප්‍රතිපත්ති පවත්වාගෙන යෑමට නව රජය දැක්වූ කැපවීම අරමුණු ඉටු කරගැනීමට වැදගත් – IMF

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here