Home Hit වෛද්‍යවරුන්ගෙන් පාඨලී චම්පිකට රතු එළි

වෛද්‍යවරුන්ගෙන් පාඨලී චම්පිකට රතු එළි

218

වෛද්‍යවරුන් විසින් තමනට රතු එළි දල්වා ඇති බවත් එනිසා තව දුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසනවා.

තම ෆේස්බුක් සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී.

එම සම්පූර්ණ සටහන මෙසේය.

මිත්‍රවරුනි,

මා හට අසනීප තත්ත්වයක් ඇති බැව් දැන දුරකතන ඇමතුම් දුන්, සුවදුක් සොයා බැලූ, නිරෝගී සුව ප්‍රාර්ථනා කළ සියළු දෙනාට මගේ ගෞරවය පිරිනමමි.

එහෙත් කොළඹ මහාධිකරණයේ ජනවාරි 11 වැනි දින සිදුවූ නඩු කටයුත්ත පිළිබඳව විවිධ මාධ්‍ය වාර්තා, නාට්‍ය හා අපහාස අවලාද පැතිරෙමින් ඇත. එවැනි දෑ ගැන මට කම්පාවක් නැතිමුත් මා ගැන දන්නා නොදන්නා සියළුදෙනාට සිදුවූ දෙය පැවසීම මද අස්වැසිල්ලක් ලද මේ මොහොතේ සුදුසු යැයි සිතමි.

ජනවාරි 8 හා 9 දෙදින මා හට ඉතා කාර්‍යබහුල වූයේ හිමිදිරි උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා මාතලේ, දඹුල්ල, මැල්සිරිපුර, රිදීගම, මහව, නාරම්මල, කුරුණෑගල ආදී ප්‍රදේශ ගණනාවක ගෞරවනීය භික්ෂූන් වහන්සේලා හා ආගමික නායකයින් හමුවීම්, රැස්වීම්, සම්මන්ත්‍රණ, සාකච්ඡා රැසකට සහභාගී වීම නිසාය.

පසුදිනයේ මාගේ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ අතර, සමාජ කටයුතු කීපයකට සහභාගී වීමට ද සිදුවිය. එදින මගේ වම් අත දෙසින් ඇති වූ වේදනාවක් ක්‍රමයෙන් සවස් වන විට කිහිලි ප්‍රදේශයට ද, වම්පස පපු ප්‍රදේශය හා උදර ප්‍රදේශයට ද පැතිර ගියේය. නාවල ප්‍රදේශයේ හමුවකට යන අතරතුර රාත්‍රී 9 ට පමණ එය උත්සන්න විය.

මෙයට මාස කීපයකට පෙර ද, මෙවැනිම තත්ත්වයක් නිසා ජයවර්ධනපුර රෝහලෙන් දින දෙකක් ප්‍රතිකාර ගැනීමටද සිදුවූ හෙයින් හා පසුදින (ජනවාරි 11) මහාධිකරණ නඩු දිනයක් වීම නිසා ලංකා රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළු වුනෙමි.

එහිදී මා පරීක්ෂා කළ වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ මට අධි රුධිර පීඩන තත්ත්වයක් තිබෙන හෙයින් වෛද්‍ය පරීක්ෂණ කීපයක් සිදු කළ යුතු බවත්, විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු බවත් ය. ඒ අනුව එදින මධ්‍යම රාත්‍රියේ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා මා පරීක්ෂා කර වෛද්‍ය පරීක්ෂණ කීපයක් කිරීමට පියවර ගත්තේය.

පසුදින උදෑසන හෘද රෝග විශේෂඳ වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණයටද මා බඳුන් කරනා ලදී.

එදින උදෑසන 10.00 ට පමණ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා මා හට පැවසූයේ මගේ වෛද්‍ය වාර්තාවල අසාමාන්‍ය තත්ත්ව කීපයක් ඇති බවය.

ඒ අනුව මා තවත් පරීක්ෂණ කීපයකට හා විශේෂඥ වෛද්‍යවරුන් කීපදෙනෙකුගේ නිරීක්ෂණයට ලක් විය යුතු බවය, මට කෝවිඩ් තත්ත්වයක් ඇති බවට එතුමාට සැකයක් (මා එන්නත්කරණය වී සිටියද) එතුමාට ඇති වූ අතර RAT පරීක්ෂණයට අමතරව PCR පරීක්ෂණයක් ද කිරීමට නිර්දේශ විය. වෙනත් විශේෂඥ වෛද්‍යවරු වෙනත් (ස්කෑන් ආදී) තාක්ෂණික පරීක්ෂණ සිදු කරයි නම් කෝවිඩ් නැති බවට සහතිකයක් ද අත්‍යාවශ්‍ය බැව් පවසන ලදී.

එවිට මා වෛද්‍යාචාර්‍යතුමාට පැවසූයේ මට අද 1.30 ට මහාධිකරණ නඩුවක් ඇති බවය. එයට යෑමට සුදුසු තත්ත්වයක් නැති නිසා පීසීආර් ප්‍රතිඵල පැමිණ අදාළ පරීක්ෂණවල ප්‍රතිඵල හා අන් වෛද්‍යවරුන්ගේ මතය විමසන තෙක් රෝහලේ රැඳී සිටිනා ලෙසට උපදෙස් දෙන ලදී. ඉන් පසු මගේ නීතීඥ මහතුන් විමසීමේදී වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන ලදී. එය වෛද්‍යාචාර්‍යතුමා සිය අත් අකුරින්ම ලියන ලද අතර එය මවිසින් නීතීඥ මහතුන් වෙත හිතවතකු අතේ යැව්වෙමි. එදින සවස 4.30 වන තෙක් මා හුදෙකලා කර තබන ලදී.

පීසීආර් පරීක්ෂණයෙන් මා හට කෝවිඩ් නොමැති බැව් සහතික වීමෙන් පසු සෙසු පරීක්ෂණ වෙත යොමු කරන ලදී.

වෛද්‍යවරුන් අද දිනද (12) මා පරීක්ෂා කරමින් ඖෂධ ලබාදෙමින් සිටිති. පසුගිය 10 වැනිදා තිබූ වේදනා දැන් පහව ගොස් ඇතිමුත් වෛද්‍ය වාර්තා මට රතු එළියක් දල්වා ඇති හෙයින් තවදුරටත් ප්‍රතිකාර ලබන්නෙමි.

මා කිසිවිටෙක උසාවිය මග හැර නොමැත. මා ගැන පරීක්ෂණයකට (2019 දෙසැම්බර්) කොළඹ සීසීඩීය ක්‍රියා කරන බවට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළ විට මම ස්වේච්ඡාවෙන්ම එහි ගියෙමි. වරෙන්තුවකින් තොරව මා අත්අඩංගුවට ගැනීම සඳහාත්, රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම සඳහාත් මට එරෙහිව යොදාගත් එක් චෝදනාවක් වූයේ පොදු දේපොළ පණත ය. එම නඩුවේදී සාක්ෂ්‍යකරුවන්ට කළ බලපෑම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩුවක් පවරා ඇති බවද දනිමි. මට එරෙහිව පැමිණිල්ල කර තිබුණේ ද චමල් රාජපක්ෂ ඇමැතිතුමාය.

මේ රටේ කලක් කොටි ත්‍රස්තවාදීන්ට සන්නිවේදන උපකරණ සැපයූ මාධ්‍ය අයිතිකරුවෙක් 2016 වසරේ සිට මේ රිය අනතුර පිළිබඳව සක්‍රීයව මැදිහත් වෙමින් එය මාගේ චරිත ඝාතනයට යොදාගන්නා ලදී. අද ද සිදුවන්නේ එයයි.

මේ පහත් මාධ්‍ය ප්‍රචාර නිසා අවංක හා යුක්තිගරුක මිනිසුන්ට සිදුවන්නේ මෙයදැයි ඇතැම්විට කම්පාවට පත්වී අපි අවංක හා යුක්තිගරුක නොවී ක්‍රියා කළ යුතු යයි සමාජයට වැරදි අදහසක් ඇතිවීමට ඉඩ ඇත. රාජ්‍ය ආයතනවලට රුපියල් කෝටි දහස් ගණනක ලාභ ලබා දී දූෂණයෙන් තොරව ඒවා පවත්වාගනිමින් අප ලබා දුන් ආදර්ශවත් පාලනයට ලැබෙන අවමන් මගින් අවංකව කටයුතු කරන බොහෝ දෙනෙක් අධෛර්‍යයට පත්වීමට ඉඩ ඇත. එමෙන්ම මිනිස් ඝාතන සිදුකළ වුන්, රාජ්‍ය දේපොළ කෝටි ප්‍රකෝටි ගණන් සොරාගත් වුන්, විනාශ කළ වුන් නිදොස් කොට නිදහස් කරනා යුක්තිය පසිඳවාලීමේ ක්‍රියාවලියක් හමුවේ තවදුරටත් අවංක නොවී සිටීමට සමාජය පෙළඹීමට ඉඩ ඇත.

විසිවැනි සංශෝධනයෙන් අධිකරණයේ පැවැති ස්වාධීනත්වය හා අපක්ෂපාතීභාවය අනතුරේ දමා තිබියදී ද, පවතින යුක්තිය පසිඳවාලීමේ ක්‍රියාවලියට අප ගරු කරන්නේ සමාජය අවංක හා යුක්තිසහහගත කිරීමට ධෛර්‍යය සැපයීම පිණිසය.

හදිසි අසනීප තත්ත්වයන් ඕනෑම පුද්ගලයෙකුට ඇතිවිය හැක. ඒවා කුමන්ත්‍රණ ලෙස විස්තර කිරීමට එවැනි කුමන්ත්‍රණවලට හුරුපුරුදු පිරිස්වලට කළ හැක. අපි ඒවායින් කම්පා නොවෙමු.

පසුගිය 11 වැනිදා නඩුවාරයේදී තිබුණේ පැමිණිල්ලේ සාක්ෂ්‍යකරුවන්ගෙන් අපේ නීතිවේදීන් ප්‍රශ්ණ කිරීමය. එහෙයින් එය මගහැර යෑමට කිසිදු අවශ්‍යතාවයක් මට තිබීමට නොහැක.

එමෙන්ම මේ අනපේක්ෂිත සිදුවීම නිසා අධිකරණයේ කටයුතුවලට අපහසුතාවයක් ඇතිවීමද සිදුව ඇත. ඒ ගැන මම අතිශයින්ම කණගාටු වෙමි.

අද රට බංකොලොත්භාවයට පත් කර ඇති දේශපාලනඥයින් හා ජාවාරම්කාර කණ්ඩායම් වලට එරෙහිව අප ගෙනයන අරගලය ඉදිරියේදී අපි තවදුරටත් තීව්‍ර කරන්නෙමු. මේ අඳුරු අගාධයෙන් මුදාගැනීම සඳහා ඉදිරි මාස කීපයේදී තවදුරටත් කැපවී කටයුතු කරන්නට අපි අදිටන් කරගනිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here