Home Hit “විවාද දැන් ජෝක් එකක් වෙලා බන්දුල. වහාම මූල්‍ය අරමුදලට යන්න” – හර්ෂ

“විවාද දැන් ජෝක් එකක් වෙලා බන්දුල. වහාම මූල්‍ය අරමුදලට යන්න” – හර්ෂ

131

ජාත්‍යන්තර අරමුදලෙන් ණයක් ගැනීමට යා යුතුද යන කරුණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තමන් සමග විවාදයකට එක්වෙන ලෙස වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත ඊයේ (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආරාධනා කළේය.

ඒම ආරාධනාව සම්බන්ධයෙන් හර්ෂද සිල්වා මහතා පහත ලෙස ප්‍රතිචාර දක්වා තිබුණි.

විවාද දැන් ජෝක් එකක් වෙලා බන්දුල. වහාම මූල්‍ය අරමුදලට යන්න.

බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කියනවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕනද ? නැද්ද? කියලා ප්‍රසිද්ධ මාධ්‍යයක විවාදයක් කරන්න මට එන්නලු. දැන් විවාද කර කර ඉන්න වෙලාවක් නෑ. මම කියන්නේ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් මේ දැවැන්ත විනිමය අර්බුදයෙන් කෙටි කාලීනව රට බේරගන්න කියලයි.

ඒ සහනයෙන් අපිට පුලුවන් දිගුකාලීනව මේ ගැටලුව විසඳගන්න මාවත සකස් කර ගන්න. මේ විවාද කෙරුවා⁣ව දැන් ජෝක් එකක් වෙලා. බන්දුලට ඕන නම් මගේ අදහස් දැනගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියල මම 2020 වසරේ ඉඳන් කරපු කතා බලන්න පුළුවන්. ඒවායේ මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුත්තේ ඇයිදැයි එකින් එක පැහැදිලි කරනවා. අපේ ස්ථාවරය අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ති⁣බෙනවා. මේ ගොල්ලෝ හදන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිල්ලෙක්. ඒ බිල්ලා ගාවට අපි යන්නේ නෑ කියන මතය හදන්න. මේ රටේ ජනතාව මේ ගොල්ලෝ කොහොමත් බොරු දේශප්‍රේමයක් පෙන්වලා අන්ඳලනේ තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ බිල්ලෙක් නෙවෙයි. රට රටවල් වල ගෙවුම් ශේෂ අර්බුද විසඳාගන්න මූල්‍ය අරමුදල සහය දෙනවා. හැබැයි, එතකොට ඕන විදිහට ඒ සල්ලි අරන් බාල් නටන්න නම් බෑ.

ඒකයි, මේ ගොල්ලෝ මූල්‍ය අරමුදලට යන්නෙ නැත්තේ. ගමේ මිනිහෙක් ගෙයක් හදන්න බැංකුවකින් ණයක් ගන්න කොටත් බැංකුව කොන්දේසි දානවා. ගේ හදනවා හැර ඒ මුදල් වලින් බාල් නටන්න දෙන්නෙ නෑ. ඒක කොන්දේසියක් තමයි. හැබැයි, ඒකෙන් ඒ මනුස්සයට වාසියක් වෙනවා. ඒවගේ මූල්‍ය අරමුදල දාන කොන්දේසි වලින් මේ දේශපාලකයින්ට බාල් නටන්න හම්බ වෙන්නේ නෑ. ඒක නිසා ජනතාවට කියනවා, අපි මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යටත් වෙන්නේ නෑ කියල.

ඒ රට ගැන හිතල නෙවෙයි. ඔවුන් ගැන හිතල. ඒක නිසා, දැන්වත් මේ ජනතාව අන්දන වැඩේ නතර කරල රටේ ආර්ථිකය බේරගන්න මූල්‍ය අරමුදලට යන්න. රටට විහිළු සපයන ඔය විවාද මේ වෙලාවේ වැඩක් නෑ බන්දුල.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here