Home Hit ඇමති ලේකම්වරු දෙදෙනෙක් යුද සමයේදී වළදැමූ රත්තරං සොයා උතුරට

ඇමති ලේකම්වරු දෙදෙනෙක් යුද සමයේදී වළදැමූ රත්තරං සොයා උතුරට

163

යුද සමයේදී මුලතිව්, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්‍රන් තොගයක් රහසිගතව ගොඩගැනීමට තැත්කළ, කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ පුද්ගලික කාර්යය මණ්ඩලයට අයත් ලේකම්වරු දෙදෙනෙකු පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාගේ සහ ධීවර අමාත්‍යවරයාගේ ලේකම්වරුන් බව වාර්තා විය.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බවය.

යුද සමයේදී එල්. ටී. ටී. ඊය විසින් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වළදැමූ බව කියන රත්‍රන් තොගයක් අධිකරණ නියෝගයකට අනුව මේ මස 25වනදා ගොඩගැනීමට නියමිතව තිබුණි.

නමුත් පසුගිය දින කිහිපය පුරා අදාළ ප්‍රදේශයේ මහවිරු සතිය පැවතීම හේතුවෙන් කැණීම් කටයුතු හෙට (02) දක්වා කල් දමා එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ.

ඒ අතරතුර පසුගිය 23 වනදා පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ලෙසින් හැඳින්වෙන පුද්ගලයෙකු හා ධීවර අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ලෙස හැඳින්වෙන පුද්ගලයෙකු පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ ” අපි ඔය පැත්තේ එනවා, පැමිණීමෙන් පසුව හමුවෙනවා යනුවෙනි.

අනතුරුව ඔවුන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවසට අදාළ දිනයේ සවස් කාලයේදී ගොස් පවසා ඇත්තේ තමන් සැලසුම් කර ඇති කැණීම් කටයුත්තක් සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බැවින් නොවැම්බර් 25ට පෙර රහසිගතව එය කිරීමට සහාය වන ලෙසය.

අදාළ ලේකම්වරුන් දෙදෙනාගේ පැමිණීම සම්බන්ධයෙන් දින කිහිපයකට පසුව මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට තොරතුරු ලැබී විමසන තෙක් පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා ඉහළ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර නොතිබුණි.

ඒ අනුව ඔහු විසින් රාජකාරී වගකීම හා රාජකාරිය පැහැරහැරීමක් සිදුකර ඇත්ද යන්න පරීක්ෂාකිරීම සඳහා මුලතිව් දිස්ත්‍රික් 1 භාර සහකාර පොලිස් අධිකාරියවරයා යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර අදාළ සිදුවීම පිළිබඳව උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා විසින් පොලිස්පතිවරයාට හා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට වාර්තාවක්ද යොමුකර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here