Home Hit ‘පරිපාලනය කරන දූෂිතයෝ දන්නවා ඇමතිව අල්ල ගන්න’ – අර්ජුන

‘පරිපාලනය කරන දූෂිතයෝ දන්නවා ඇමතිව අල්ල ගන්න’ – අර්ජුන

189

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනයට සම්බන්ධ දූෂිතයන් බහුතරයක් ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ ඥාතීන් හෝ සමීප හිතවතුන් බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

ශ්‍රී දළදා සමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවසීය.

“මේ රටේ ප්‍රධාන ක්‍රීඩා තරග නවත්වා LPL තරගාවලිය පමණක් පවත්වන්න කටයුතු කරනවා. මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ අද ක්‍රිකට් ක්‍රීඩාව මුදල මත ම සිදු කෙරෙන ක්‍රීඩාවක් බවට පත්ව ඇති නිසයි. මේ තත්ත්වයට බලපාපු තවත් ප්‍රධාන හේතුවක් තමයි මේ LPL තරගාවලියේ වැඩ කරන්නේ ක්‍රීඩා ඇමතිවරුන්ගේ ඥාතීන්, හිත මිතුරන් හා සමීපත ම පුද්ගලයින්. මේ බව මට ඔප්පු කරන්න පුළුවන්. මම ක්‍රීඩා ඇමතිට කීවා මේ LPL සම්බන්ධයෙන් විධිමත් විගණනයක් කරන්න කියලා. එහෙම කරොත් මේ ගහලා තියෙන ගැහිලි ඔක්කො ම එළියට එනවා. ඒත් මේ දක්වා ම විගණනයක් කළේ නෑ.

ලෝකයේ ක්‍රිකට් නිලධාරීන් පත් කරන්න ඡන්ද 140ට වැඩියෙන් තියෙන එක ම රට ශ්‍රී ලංකාවයි. ක්‍රීඩා සමාජ 28ක් තියෙනවා. මේ ක්‍රීඩා සමාජවල විශාල වශයෙන් වැරදි කරන පුද්ගලයෝ ඉන්නවා නමුත් පරිපාලකයෝ ඒ අය ආරක්ෂා කරනවා. අද මේ ක්‍රිකට් ක්‍රීඩාවේ හැම දෙයක් ම මුදලට යටවෙලා. ඒක තමයි අපේ රටේ ක්‍රිකට් විනාශයට මුල. වෙන රටවල්වල මේ තත්ත්වය දැන් නැතිවෙලා ක්‍රීඩාවට තමයි, දක්ෂයන්ට තමයි මුල් තැන ලැබෙන්නේ.”

ඔහු මෙහිදී සදහන් කළේ, රටේ ජනාධිපති, අගමැති, ක්‍රීඩා ඇමති, ක්‍රිකට් කණ්ඩායමේ නායකයින් වෙනස් වුණ ද දූෂිත පරිපාලකයෝ තවම ත් වෙනස් වී නොමැති බව ය.

“අපේ දූෂිතයෝ තව ම ත් ක්‍රිකට් ක්‍රීඩාවට අරක්ගෙන ඉන්නවා. ඒ අය එන එන ක්‍රීඩා ඇමති අල්ලගන්න දන්නවා. මේ අයගෙන් ක්‍රීඩා ඇමතිවරුන්ගේ හිත මිතුරන් ඥාතීන් යැපෙනවා. අද අපිට දක්ෂ ක්‍රීඩකයෝ හිටියත් දක්ෂ පරිපාලකයෝ නෑ. ඒ නිසා තමයි මීළඟ 20 -20ට ත් අපිට සුදුසුකම් ලබා ගන්න මැච් ගහන්න වෙලා තියෙන්නේ. කිසිම ක්‍රීඩා ඇමතිවරයෙක් මේ දූෂිතයන්ට දඬුවම් කරන්නේ නෑ.

මේ දූෂිත පරිපාලකයන් යටතේ කවදාව ත් මේ රටේ ක්‍රිකට් හදන්න බෑ. අද අපිට දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඒක සතුටට කරුණක්. තේරීම් කමිටුව හොඳින් වැඩ කරනවා. ඒත් දූෂිත පරිපාලකයෝ පරණ මැච් එක ම හැමදා ම ගහනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here