Home Hit “ගජ මිතුරෝ සෙට් එක එකතු වෙලා ඔබතුමාව රවටලා තියෙනවා” – රෝහිණි කවිරත්න

“ගජ මිතුරෝ සෙට් එක එකතු වෙලා ඔබතුමාව රවටලා තියෙනවා” – රෝහිණි කවිරත්න

127

“කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා, අධ්‍යක්ෂ ජනරාල්තුමන්ලා සහ ගජ මිතුරන් එක්ව කෘෂිකර්ම අමාත්‍යවරයා රවටා ඇති හෙයින් මේ වන විට ඔහු තනි වී ඇතැයි‍,” සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කෘෂිකර්ම අමාත්‍යවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව ඇගේ අදහස දක්වමින් ඊයේ (26) පාර්ලිමේන්තුවේදී ඇය මේ බව සඳහන් කළා ය.

“ඊයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා කිව්වා කෘෂිකර්ම ඇමතිතුමා ජනාධිපතිතුමා ත් රැවැට්ටුවා කිව්වා. කැබිනෙට්ටුව ත් රැවැට්ටුවා කිව්වා. පාර්ලිමේන්තුව ත් රැවැට්ටුවා කිව්වා. පාරිභෝගිකයාත් රැවැට්ටුවා කිව්වා. හැබැයි මම කියනවා ඔබතුමාගේ අමාත්‍යංශයේ ලේකම්තුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමන්ලා, ගජ මිතුරෝ සෙට් එක සේරම එකතු වෙලා ඔබතුමාව රවටලා තියෙනවා කියලා කනගාටුවෙන් වුණත් කියනවා.”

ඇය සඳහන් කළේ, මේ වන විට ගොවි ජනතාව, කෘෂිකර්ම අමාත්‍යවරයා රැක ගැනීමට පැමිණි පුද්ගලයින්, විපක්ෂයේ පිරිස මෙන් ම ආණ්ඩු පක්ෂයේ පිරිස ද ඔහුට චෝදනා කරමින් සිටින බව ය.

එබැවින් කෘෂිකර්ම අමාත්‍යවරයාට අත්ව ඇති ඉරණම ‘රන්දෙණිගල සටන අවස්ථාවේදී ලෙව්කේ බණ්ඩාරට අත් වූ ඉරණමට’ සමාන බව ඇය පැවසුවා ය.

“ඔබතුමා දන්නාව ද දන්නවා ද දන්නේ නෑ රන්දෙණිගල සටන කියලා එකක් ඉතිහාසයේ තියෙනවා. 2 වන රාජසිංහ රජතුමාගේ කාලේ හිටියා එයාගේ විශ්වාසය දිනාගෙන හිටපු ලෙව්කේ බණ්ඩාර කියලා කෙනෙක්. එතුමා ගැන තිබ්බ මේ විශ්වාසයට ඉරිසියා කරපු අනික් අය රජතුමාට කේලාම් කියලා පෘතුගීසීන් සමග තිබ්බ සටනේදී ලෙව්කේ බණ්ඩාර ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා. එතනදී කවියක් ඔබතුමා අහලා ඇති.

පුන්සඳ සේ ම පායාලා රට මැද්දේ
රන් කෙඳි සේ ම පීරාලා පිට මැද්දේ
මාර සෙනග වටකර ගෙන යම යුද්දේ
ලෙව්කේ මැතිඳු අද තනියම යම යුද්දේ

මට ඔබතුමා ගැන කියන්න තියෙන්නේ ත් එච්චරයි. ඔබතුමාව රකින්න කවුරුවත් නැති බව අපට පේනවා.”

අඩු තරමින් පර්යේෂණ අංශය, අධ්‍යාපන හා පුහුණු අංශය, ව්‍යාපෘති අංශය, බිජ හා රෝහණ අංශය සහ යන්ත්‍රෝපකරණ අංශය ආදියෙන් සමන්විත කෘෂිකර්ම අමාත්‍යංශයේ ව්‍යූහය පිළිබඳව හෝ කෘෂිකර්ම අමාත්‍යවරයා දැන හිටියා නම් ඔහුට උදා වී ඇති තත්ත්වයෙන් ගැලවෙන්නට තිබූ බව ඇය වැඩිදුරට ත් සඳහන් කළා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here