Home Hit ‘ලෝකේ දියුණු රටවලත් ගෑස් අනතුරු සිද්ද වෙනවා – රටක් විදියට අපි සතුටු...

‘ලෝකේ දියුණු රටවලත් ගෑස් අනතුරු සිද්ද වෙනවා – රටක් විදියට අපි සතුටු වෙන්න ඕනේ’ – අලගියවන්න

110

ගෑස් පාරිභෝගිකයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඉදිරි සති දෙක තුළ ගෑස්වල ගුණාත්මක බව ආරක්‍ෂා කර ගත හැකි ආකාරයේ ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කිරීමට හා නීතිරීති පැනවීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

අමාත්‍යංශයේ ඊයේ (නොවැ. 25) ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය කාලයේ සිදු වූ ගෑස් අනතුරු සඳහා මූලිකවම හේතු වී ඇත්තේ බාල තත්ත්වයේ උපාංග භාවිත කිරීම සහ නොසැලකිලිමත්කම බව ය.

මින් පෙර මෙරටට ද්‍රව ගෑස් ආනයනය කිරීමේදී නැව් ගත කෙරෙන අවස්ථාවේදී ප්‍රමිතිය පරීක්‍ෂා කළ ද එම ක්‍රමවේදය තවත් ශක්තිමත් කරමින් ජාත්‍යන්තර වශයෙන් ප්‍රමිතිය පරීක්‍ෂා කරන රසායනාගාර මෙරටදී ලියාපදිංචි කිරීමටද ක්‍රමවේදයක් සකසන ලෙස යෝජනා කළ බව ද අමාත්‍යවරයා පවසයි.

ගෑස් අනතුරු සිදු නොවන රටක් ලොව කිසි තැනක නැති නිසා දියුණු රටවලට සාපේක්‍ෂව රටක් ලෙස සතුටු විය හැකි බව ද අමාත්‍යවරයා පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගම වාර්ෂිකව මෙරට වෙළෙඳපොළ තුළ ගෑස් සිලින්ඩර ලක්‍ෂ 350ක් පමණ අලෙවි කරන බව ද වසරකට ගෑස් අනතුරු 5-6 අතර ප්‍රමාණයක් සිදුවන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ අතර 2015 වසරේ සිට මේ දක්වා ලාෆ්ස් ගෑස් ආශ්‍රිතව නිවෙස්වල අනතුරු 12ක්, ව්‍යාපාරික ස්ථානවල අනතුරු 9ක්, අලෙවි නියෝජිත අනතුරු 2ක් පමණ සිදුවී ඇතැයි ද ඇමතිවරයා පවසයි.

2012 වසරේදී සිට ගෑස් පරිභෝජනය කරන පාරිභෝගිකයා ආරක්‍ෂා කර ගැනීමට ගැසට් නිවේදන ගණනාවක් නිකුත් කොට ඇති බව ත් පාරිභොගිකයා ආරක්‍ෂණ අධිකාරිය ලෙස මෙතෙක් කලක් ගත් ක්‍රියාමාර්ග හැර තවත් ක්‍රියාමාර්ග ගත හැකිදැයි යන්න සොයා බලන බවත් ඇමතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here