Home Hit “අපේ ප්‍රාර්ථනාව එක ජාතියක් එක නීතියක් එක ධජයක්”

“අපේ ප්‍රාර්ථනාව එක ජාතියක් එක නීතියක් එක ධජයක්”

94

පසුගිය කාලයේ සිය භාවිතාව සම්බන්ධයෙන් සමාජය තුළ කුමන මතවාද තිබුණත් එම මතවාද ගොඩ නැගුණේ මෙරට තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවට විසඳුම් සෙවීමට යාම හේතුවෙන් යැයි ‘එක රටක් – එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ පවසති.

එබැවින් මේ අවස්ථාවේදී ‘එක රටක් – එක නීතියක්’ සැකසීමේ බලකා සභාපති ධූරය සම්බන්ධයෙන් “සුළු ජාතියවත්, වෙන කවුරුන්වත් කලබල වීම අවශ්‍ය නොවන බවත් තමන්ගේ ප්‍රාර්ථනාව එක ජාතියක්, එක නීතියක්, එක ධජයක් යටතේ නැගිටිය හැකි වැඩපිළිවෙළක් වෙනුවෙන් ක්‍රියාත්මක වීම,” බවත් උන් වහන්සේ සඳහන් කළහ.

දැඩි මතධාරී හිමිනමක් ලෙස සමාජය තුළ ගොඩ නැගී ඇති මතවාද සහ මුස්ලිම් ජන සමාජය තුළින් ඊට විරෝධයක් ද මතුව පවතිද්දී එක රටක් – එක නීතියක් සැකසීම සඳහා වන කාර්ය සාධක බලකායේ සභාපති ධූරයට පත්වීම සම්බන්ධයෙන් අද (නොවැ.1) මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට උන් වහන්සේ පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

මාධ්‍යවේදියා:

ඇතැම් සුළු ජාතීන් තුළ ඔබ වහන්සේ පිළිබඳව ඇති චිත්‍රය හමුවේ ඔබ වහන්සේ කොහොම ද මේ ගමනට නායකත්වය දෙන්නේ?

ගලගොඩ අත්තේ ඥාණසාර හිමි:

“සුළු ජාතිය, අර ජාතිය, මේ ජාතිය කියලා අපි මුලින් පළාත් පදනම්වලින්, වර්ගවාදී ඇහැකින් මේ ගොනාපු කුණු ගොඩේ ප්‍රතිඵලය නිසා නේ ජනාධිපතිවරයාට සිද්ධ වෙන්නේ මේ වගේ කාර්ය සාධක බලකායක් පිහිටු වන්න. නිදහසෙන් පස්සේ අවුරුදු 73ක් ගත වෙලා තියෙනවා. මේ අවුරුදු 73 තුළ අපොහොසත් වෙලා තියෙනවා මේ රටේ දේශපානලනය විසින් රටේ ජාතික ඒකාබද්ධතාවය ගොඩනගන්න. හැම අවුරුදු 5න් 5ට ම අපට ඇහෙනවා ව්‍යවස්ථා සංශෝධන විධායක ජනාධිපති ක්‍රමය යනාදී කොට ගත් මේ නීති අණ පනත් සකස් කිරීම පිළිබඳ කතාව කොච්චර දිග ද? යුද්ධ ජයග්‍රහණයෙන් පස්සෙ ජනාධිපති කිව්වා සුළු ජාතිය මහ ජාතිය අරක මේක නැතිව ශ්‍රී ලංකික ජාතිය අපි ගොඩනගමු කියලා. අදටත් ඒක විවෘතයි. අවාසනාවට අපට මේ පවරපු වගකීම පිළිබඳව මිනිසු තේරුම් අරගෙන නෑ බොහෝ අය. අපි නීති විශාරදයෝ නොවේ. නීති විශාරද ඇහැකින් මේ ප්‍රශ්න දිහා බලන්න නොවේ අපට මේ වගකීම දුන්නේ.

අපි සම්බන්ධයෙන් නොයෙක් විවේචන තියෙන්න පුළුවන්. මොක ද ඒක අපේ අතීත භාවිතාව. ඊට හේතුව අපි සමාජය තුළ⁣ ගොඩනැගුණේ ම මේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීමෙන් ජනයා තුළ ඇති වන ආතතිය තේරුම් ගෙන ඒවාට විසඳුම් සොයා දීමට කළ අරගලයක් තමා අපේ ජීවන භාවිතාවේ පහුගිය කාලේ දැක්කේ. ඒක එක එක විදියට විවිධ අය විග්‍රහ කරගන්න ඇති. සුළු ජාතියවත් වෙන කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නෑ. අපේ ප්‍රාර්ථනාව එක ජාතියක් එක නීතියක් එක ධජයක් යටතේ නැගිටගන්න පුළුවන් වැඩපිළිවෙළක් වෙනුවෙන් ක්‍රියාත්මක වීම.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here