Home Hit ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි

ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි

203

ලොව ප්‍රකට ප්‍රාග් ඉතිහාසඥයෙකු වන ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

1968 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ සහකාර කොමසාරිස්වරයෙකු ලෙස පත්වීම් ලැබූ ආචාර්ය ශිරාන් දැරණියගල මහතා මෙරට හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද වේ.

1968 වසරේදී පාහියන් ලෙන ආශ්‍රිතව කැනීම් ආරම්භ කරන ලද්දේ ද, දැරණියගල මහතාගේ ප්‍රධානත්වයෙනි.

1942 වසරේ රත්නපුර දී උපත ලැබූ සිරාන් උපේන්ද්‍ර දැරණියගල ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබුවා.

කේම්බ්‍රිජ් ට්‍රිනිටි විද්‍යාලයෙන් පුරාවිද්‍යාව හා සංස්කෘත භාෂා මූලික හා ශාස්ත්‍රපති උපාධි ලැබූ ඔහු 1968 වසරේ දී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය ගවේෂණය හා සංරක්ෂණය වෙනුවෙන් ආචාර්‍ය දැරණියගල සිදු කළ සේවය අති මහත්.

අවුරුදු 130,000කට පෙර මෙරට වාසය කළ ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ කරුණු හෙළි කරගත් බූන්දල පතිරාජවෙල ආශ්‍රිත පුරාවිද්‍යාත්මක පර්යේෂණය සිරාන් දැරණියගලගේ වෘත්තිය ජිවිතයේ විශිෂ්ටතම පර්යේෂණය ලෙස සැලකෙනවා.

එම පර්යේෂණය වෙනුවෙන් සිරාන් දැරණියගල හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධිය ලබා ගත්තා.

අදාළ පර්යේෂණ පදනම් කරගනිමින් එතුමා විසින් රචිත වෙලුම් තුනකින් යුත් The Pre – History of Sri Lanka කෘතිය මෙරට පුරාවිද්‍යාඥයන් වර්තමානයේ සිය අත්පොත ලෙස ද භාවිත කරනවා.

ඔහු කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, පාහියන්ගල වැනි ස්ථානවල කළ කැණීම් මගින් දකුණු ආසියාවේ පැරණිතම නූතන මානව සාධක ශ්‍රී ලංකාව සතු බව ලෝකයට රැගෙන යෑමේ පුරෝගාමී මෙහෙවරක් සිදුකළා.

අනුරාධපුර ඇතුළු නුවර කැනීම් මගින් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා පූර්ව ඓතිහාසික යුගය පසුකරමින් ඓතිහාසික යුගය දක්වා පැමිණෙන බවට සාධක ඉදිරිපත් කළේද ආචාර්‍ය සිරාන් දැරණියගලයි.

1992 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වූ ආචාර්‍ය සිරාන් දැරණියගල 2001 වසර දක්වා එම ධුරයේ කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here