Home Hit “ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැඟීම මාගේ රජයේ දැඩි අරමුණයි”

“ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැඟීම මාගේ රජයේ දැඩි අරමුණයි”

95

සියලු මනුෂ්‍ය වර්ගයාට යහපතක් හා තිරසර අනාගතයක් ඇති කිරීම සඳහා සැබෑ සහයෝගීතාවයෙන් ත්‍යාගශීලී හොඳ හිත පෙර දැරිව සහ අනේ‍යාන්‍ය ගෞරවයෙන් එකට වැඩ කරන ලෙස ශ්‍රී  ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 76 වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් සාමාජික රටවලින් ඉල්ලීමක් කළේය.

සියලු ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස සැලකීමෙන් සහ ඔවුන්ගේ යාන්ත්‍රණයන් හා උරුමයන් කෙරෙහි නිසි ගෞරවනීය සැලකීමෙන් මේ සඳහා ද පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්ය භාරය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මහා සමුළුවේ තේමාවට අනුකූලව අප බලාපොරොත්තු සහගත බව තුළින් සැබැවින් ම ඔරොත්තු දීමේ ශක්තිය ගොඩනඟා ගැනීමට නම් අප සැමදෙනා ම පොදු යහපත සඳහා කටයුතු කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඊයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ රාජ්‍ය නායකයන් අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවසීය.

සභාපතිතුමනි, මහ ලේකම්තුමනි,

රාජ්‍ය නායකවරුනි, ගෞරවනීය නියෝජිතයිනි,

නෝනාවරුනි, මහත්වරුනි,

ආයුබෝවන්!

අද පැවැත්වෙන මෙම උත්කෘෂ්ට රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම මට ගෞරවයකි.

76 වන මහා මණ්ඩල සැසිවාරයේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ අතිගරු අබ්දුල්ලා ෂහීඩ් මැතිතුමන්ට මම පළමුවෙන් සුබපතමි.

සභාපතිතුමනි, ඔබ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකි. ඉදිරි වසරේදී ඔබ සමග සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

මීට පෙර පැවති මහා සභා සැසිවාරයේදී අතිගරු Volkan Bozkir  (වොල්කන් බොස්කීර්) මැතිතුමන් දරන ලද භාරකාරත්වය අගය කිරීමට සහ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මැතිතුමන් මෙම දුෂ්කර අවස්ථාවේදී ලබාදෙන නායකත්වය අගය කොට සැලකීම සඳහා මෙය අවස්ථාවක් කර ගනිමි.

සභාපතිතුමනි, කොවිඩ්-19 වසංගතය මනුෂ්‍ය වර්ගයාට විනාශකාරී බලපෑමක් ඇතිකර තිබේ. වසංගත තත්ත්වය හමුවේ තම සමීපතමයන් අහිමි වූ සියලු දෙනා වෙත මාගේ සාතිශය සංවේගය පිරිනමමි.

ලොව පුරා සිටින ඉදිරි පෙළ සෞඛ්‍ය හා අත්‍යවශ්‍ය සේවකයන්ගේ කැපවීම ගැන මම ස්තූති කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අර්බුදයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ ප්‍රශංසා කරමි.

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට සහ වඩා ප්‍රශස්ත ලෙස නැවත රටවල් යථා තත්ත්වයට ගොඩනැඟීමට සහාය වීම සඳහා ශ්‍රී  ලංකාව, ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව, කලාපීය දැනුම් කේන්ද්‍රයක් ගොඩනැඟීමට අපේක්ෂා කරයි.

වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා එන්නත් සහ ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දීමේදී විද්‍යාත්මක පර්යේෂකයන් හා වෛද්‍ය ප්‍රජාවන් විසින් සිදුකරන ලද වේගවත් නිර්මාණාත්මක කාර්යභාරය මම ඉතා ඉහළින් අගය කරමි.

ඒ අතර ම, භයානක නව වෛරස් ප්‍රභේද පැතිරවීම වැළැක්වීම සඳහා එන්නත් නිෂ්පාදනය, බෙදාහැරීම, ලබාදීම සහ පිළිගැනීම සම්බන්ධයෙන් වන අභියෝග වහාම ජයගත යුතු බව හඳුනාගත යුතුව ඇත.

සෑම තැනකම සෑම කෙනකුට ම එන්නත ලබාදී ඇති බවට සහතික වීම වසංගතයෙන් මිදීමේ හොඳ ම ක්‍රමවේදයයි.

තවමත් සංවර්ධනය වෙමින් පවතින ජාතියක් වුව ද ශ්‍රී  ලංකාව සිය එන්නත් කිරීමේ වැඩසටහන තුළ ඉතා සාර්ථක වී ඇත. වයස අවුරුදු 30ට වැඩි සියලු ම පුද්ගලයන් සියලු දෙනාට ම පාහේ මේ වන විටත් පූර්ණ වශයෙන් එන්නත් ලබාදීමට අපි කටයුතු කර ඇත්තෙමු. ඔක්තෝබර් මස අවසානය වන විට වයස අවුරුදු 20ට වැඩි සෑම දෙනාට ම පූර්ණ වශයෙන් එන්නත ලබාදෙනු ඇත. නුදුරු අනාගතයේදී ම අපි අවුරුදු 15ට වැඩි දරුවන්ට එන්නත් ලබාදීම ආරම්භ කරන්නෙමු.

එන්නත්කරණ ක්‍රියාවලියේ වේගවත්භාවයට පාදක වූයේ සෞඛ්‍ය සේවකයන්, හමුදාව සහ පොලිස් නිලධාරීන්, රජයේ සේවකයන් සහ තෝරාපත් වූ ජනතා නියෝජිතයන් අතර වූ සම්බන්ධීකරණයයි.

වසංගත තත්ත්වය කළමනාකරණය සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික පරිත්‍යාගශීලීන් විසින් සපයන ලද මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාරවලින් ද ශ්‍රී ලංකාව විශාල ප්‍රතිලාභයක් ලැබීය. මෙම ජාතීන්ට සහ ආයතනවලට ඔවුන්ගේ ත්‍යාගශීලීභාවය පිළිබඳ මම ස්තූතිවන්ත වෙමි. මෙම පවතින අර්බුදකාරී කාලය තුළ ගෝලීය වශයෙන් දක්නට ලැබෙන ඉමහත් සහයෝගීතාවය බෙහෙවින් දිරිගන්වන සුළුයි. කෙසේ වෙතත්, කළ යුතු තවත් බොහෝ දේ ඇත. 

සභාපතිතුමනි, වසංගතයේ ආර්ථික බලපෑම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි ලෙස බලපා ඇත. මෙය 2030 තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම අවදානමකට ලක්කර ඇත.

සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට මෙම අවිනිශ්චිත තත්ත්වයෙන් මිදීමට සහාය වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණය තුළින් සංවර්ධන මූල්‍යකරණය සහ ණය සහන ඇතුළු තවත් බොහෝ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. 

වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව ද දැඩි අසීරුතාවකට පත්ව ඇත. ඛේදජනක ජීවිත හානිවලට අමතරව අපේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. අගුලු දැමීම් සහ සාමාන්‍ය සංචරණ සීමා පැනවීම්, ජාත්‍යන්තර සංචාරකයන් පැමිණීම පහළ වැටීම සහ මන්දගාමී ගෝලීය වර්ධනය අප ආර්ථිකයේ සෑම අංශයකට ම බලපා ඇත.

ශ්‍රී ලංකාවේ ඉහළ ම විදේශ විනිමය උපයන මාර්ගයක් වන හා ජනගහනයෙන් 14%කට ආසන්න ප්‍රමාණයක් යැපෙන සංචාරක ක්‍ෂේත්‍රයේ දැඩි ලෙස කඩා වැටී ඇත. මෙම කර්මාන්තය සහ අනෙක් බොහෝ අංශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා, පොළී සහන සහ වෙනත් මූල්‍ය ආධාර ලබාදීම වැනි රජයේ ආධාර ක්‍රම මගින් සහන ලබාදුනි. දෛනික වැටුප් ලබන්නන් සහ අඩු ආදායම්ලාභී කණ්ඩායම් සඳහා මුදල් ප්‍රදානයන් සහ වියළි සලාක ලබාදීම, අගුලු දැමීම කරන කාලසීමාවේදී ක්‍රියාත්මක කරලීම තුළින් රාජ්‍ය වියදම් සැලකිය යුතු ලෙස වැඩිවිය.

වසංගතයේ ක්ෂණික බලපෑම්වලට අමතරව මෙම වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාකයන් අපගේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා තිබූ මූල්‍ය අවකාශය සීමා කර ඇත.

සභාපතිතුමනි, වසංගතයේ ප්‍රතිවිපාකයන් මනුෂ්‍යත්වයට බෙහෙවින් විනාශකාරී වූ අතර, ඉදිරි දශක කිහිපය තුළ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඊටත් වඩා විශාල අභියෝගයන්ට ලෝකයට මුහුණ දීමට සිදුවේ.

දේශගුණික විපර්යාසයන් පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ මෑතකාලීන වාර්තාවේ අවධාරණය කර ඇති පරිදි පෘථිවියේ සෞඛ්‍යයට මානව ක්‍රියාකාරකම්වල පෙර නොවූ විරූ බලපෑම් දැඩි කනස්සල්ලට කරුණකි. දේශගුණික විපර්යාසයන්ගෙන් හා 

ජෛව විවිධත්වය නැතිවීමෙන් සිදුවන බරපතළ තර්ජනයන්ට පිළියම් යෙදීම සඳහා තීරණාත්මක හා ක්ෂණික බහුපාර්ශ්වික ක්‍රියාමාර්ග අවශ්‍ය වේ.

දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෙහි අනතුරුදායක බව මනාව වටහාගෙන ඇත. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් මත ශ්‍රී ලංකාවේ දාර්ශනික උරුමයන් මුල් බැස ඇති අතර පාරිසරික අගය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. 

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩල නීල ප්‍රඥප්තියේ පතාක යෝධයකු වන අතර මෙරට කඩොලාන ප්‍රතිසංස්කරණය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ මෙම සන්දර්භය තුළය. වසර 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩකින් අඩු කිරීමට බලාපොරොත්තු වන, ‘තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රඥප්තිය’ සම්මත කර ගැනීමෙන් පරිසර දූෂණය අවම කිරීමේ ගෝලීය ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාව ද දායක වී තිබේ.

අප්‍රේල් මාසයේදී පැවති පූර්ව-සමුළුවට මාර්ගගත ක්‍රමයට (virtually) සහභාගී වීම තුළින්, මෙම මස අගදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර සමුළුව ගෝලීය වශයෙන් සෞඛ්‍ය සම්පන්න, තිරසර හා සාධාරණත්මකතාවකින් යුතු ආහාර පද්ධති ප්‍රවර්ධනය සඳහා ක්‍රි‍යාකාරී ප්‍රතිඵල ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි. එවැනි ප්‍රතිඵල මානව සෞඛ්‍යයට මෙන්ම අපගේ පෘථිවියේ සෞඛ්‍යයටද ඉතා වැදගත් වනු ඇත.

තිරසරභාවය යනු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අංගයකි. පාංශු සාරවත් බව, ජෛව විවිධත්වය, ජල මාර්ග සහ සෞඛ්‍ය කෙරෙහි එහි පවතින හානිකර බලපෑම හේතුවෙන් මගේ රජය විසින් මේ වසර මුලදී රසායනික පොහොර, පළිබෝධ නාශක සහ වල්නාශක භාවිතය තහනම් කළේය.

කාබනික පොහොර නිෂ්පාදනය හා යොදා ගැනීම මෙන්ම කාබනික කෘෂිකර්මාන්තය සඳහා කරන ආයෝජන දිරි ගන්වමින් පවතී. ශ්‍රී ලංකාවේ වඩාත් තිරසර කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට ගත් උත්සාහය වෙනුවෙන් ගෝලීය ආයතන සහ රාජ්‍යයන් බොහෝමයකගෙන් ලැබුණු දිරිගැන්වීම මම අගය කරමි.

අපේ පරිසරය සුරැකීම අපේ ප්‍රධාන ජාතික ප්‍රමුඛතාවකි. ඉදිරි දශක කිහිපය තුළදී වනාන්තර ආවරණය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම අපගේ අරමුණයි. රට පුරා පිහිටි ගංගා 100කට අධික ප්‍රමාණයක් පිරිසුදු කර ප්‍රකෘතිමත් කිරීමට සහ ගංගා හා සමුද්‍රිත දූෂණයට එරෙහිව සටන් කිරීමට ද අපි කටයුතු කරමින් සිටිමු. පාරිසරික සංරක්ෂණයට සහාය දීමක් වශයෙන් තනි භාවිතය සඳහා වූ ප්ලාස්ටික්ද අපි තහනම් කර ඇත්තෙමු.

පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම සහ කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාව ශ්‍රී  ලංකාව හඳුනාගෙන ඇත. අපගේ බලශක්ති ප්‍රතිපත්තිය මගින් වසර 2030 වනවිට අපගේ ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් දක්වා සූර්යබල, සුළං සහ ජල විදුලිය වැනි පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබාදෙන දායකත්වය ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.

සභාපතිතුමනි, සිය ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී. ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට, අප රටේ භූ උපායමාර්ගික පිහිටීම සහ අපගේ සවිමත් ආයතන, ශක්තිමත් සමාජ යටිතල පහසුකම් සහ පුහුණු ශ්‍රම බළකාය උපරිම ප්‍රයෝජනයට ගැනීමට අපි අදහස් කරන්නෙමු.

මේ සඳහා පහසුකම් සැලසීමට මෙන් ම අපගේ සියලු ම ජනතාව සමෘද්ධිමත් කිරීම සඳහා නීති, නියාමන, පරිපාලන හා අධ්‍යාපන යන ක්‍ෂේත්‍රයන් හි පුළුල් වූ ප්‍රතිසංස්කරණ ඇති කිරීම කෙරෙහි මගේ රජය අවධානය යොමු කර ඇත.

නිදහස ලැබීමට පෙර සිටම ශ්‍රී ලංකාව සර්ව ජන ඡන්ද බලය භුක්ති විඳ ඇත. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අපේ ජීවන රටාවේ ඉතා වැදගත් අංගයකි. වසර 2019දී මාව තෝරා පත්කර ගැනීම සහ 2020දී පැවති පාර්ලිමේන්තු මැතිවරණය තුළින් පිළිබිඹු වූයේ සමෘද්ධිමත් සහ ස්ථාවර රටක් ගොඩනැගීම සඳහා සහ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී  ලංකාවේ ඡන්ද දායකයන් විසින් මාගේ රජයට ලබාදුන් ප්‍රබල ජනවරමයි.

වසර 2019දී සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී, අන්තවාදී ආගමික ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද විනාශය ශ්‍රී  ලංකාව අත්වින්දේය. එයට පෙර, වසර 2009 වන තෙක් ශ්‍රී ලංකාව වසර 30ක බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධයකින් පීඩා වින්දේය. ත්‍රස්තවාදය යනු ගෝලීය අභියෝගයක් වන අතර එය ජය ගැනීමට නම්, විශේෂයෙන්ම බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගිතාව අවශ්‍යම වේ.

පසුගිය අඩ සියවසේදී ප්‍රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ දශක ගණනාවක සමෘද්ධිය අහිමිකර ඇත. මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදුනොවන බවට සහතික වීම සඳහා මගේ රජය කැපවී සිටී. එම නිසා, ඒ පිටුපස ඇති මූලික ගැටලු විසඳීමට අපි කටයුතු කරමින් සිටින්නෙමු.

කල් පවත්නා සාමය සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආයතන තුළින් වැඩි වගවීමක්, ප්‍රතිස්ථාපන යුක්තියක් සහ අර්ථවත් සංහිඳියාවක් ඇති කිරීම අත්‍යවශ්‍ය වේ. ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල සඳහා සාධාරණත්වයෙන් යුතු සහභාගීත්වය සහතික කිරීම ද එසේ ම විය යුතුය.

ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිමත්, ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැඟීම මාගේ රජයේ දැඩි අරමුණයි.

මෙම ක්‍රියාවලිය සඳහා සියලුම දේශීය පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට අප සූදානම්.

කෙසේ වෙතත්, ස්ථිරසාර ප්‍රතිඵල ලබාගත හැක්කේ ජනතාවගේ අභිලාෂයන් පිළිබිඹු කරන දේශීය ආයතන තුළින් පමණක් බව ඉතිහාසය පෙන්වාදී ඇත. ශ්‍රී  ලංකාවේ පාර්ලිමේන්තුව, අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනවලට තම කාර්යයන් හා වගකීම් ඉටු කිරීම සඳහා සීමා රහිත අවකාශයක් තිබිය යුතුය.

ගරු සභාපතිතුමනි, ගරු නියෝජිතවරුනි, අද අපගේ මහා සමුළු විවාදයේ  තේමාවට අනුකූලව අප බලාපොරොත්තු සහගත බව තුළින් සැබැවින් ම ඔරොත්තු දීමේ ශක්තිය ගොඩනගා ගැනීමට නම්, අප සැම දෙනා ම පොදු යහපත සඳහා කටයුතු කළ යුතුයි.

සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස සැලකීමෙන් සහ ඔවුන්ගේ යාන්ත්‍රණයන් හා උරුමයන් කෙරෙහි නිසි ගෞරවයෙන් සැලකීමෙන් මේ සඳහා පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරයයි.

ඇෆ්ගනිස්තානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම දිරිමත් කරන ලෙස මම එක්සත් ජාතීන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමි.

සියලු මනුෂ්‍ය වර්ගයාට යහපත් හා තිරසර අනාගතයක් ඇති කිරීම සඳහා සැබෑ සහයෝගීතාවයෙන්, ත්‍යාගශීලීව හොඳ හිත පෙරදැරිව සහ අන්යෝන්‍ය ගෞරවයෙන් එකට වැඩකරන ලෙස මෙම උත්තරීතර සභාවේ සාමාජික රටවලින් මම ඉල්ලා සිටිමි.

ඔබට ස්තුතියි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here