Home Hit “අපි කියලා තියෙන්නේ වී සඳහා පාලන මිල විතරයි – ගොවීන් රජයට ඇඟිල්ල...

“අපි කියලා තියෙන්නේ වී සඳහා පාලන මිල විතරයි – ගොවීන් රජයට ඇඟිල්ල දික් කරන එක වැරදියි”

59

විෂ බැක්ටීරියා අඩංගු කාබනික පොහොර චීනයෙන් ගෙන්වීමේ සූදානමක් ගැන මේ දිනවල චෝදනා එල්ලවෙමින් තිබෙනවා.

ඊට හේතුවුණේ පොහොර ටෙන්ඩරය ලබාදුන් සමාගමෙන් ගෙන් වූ සාම්පලවල තිබී විෂ බැක්ටීරියාවක් හමුවීමයි.

මේ අතර පොහොර ආනයනය ගැන කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අදහස් පළ කළේ ය.

කෘෂිකර්ම අමාත්‍ය, මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

පුරා වසර 40ක් රටට ආනයනය කරන ලද රසායනික පොහොරවල ප්‍රමිතිය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වගේම විගණකාධිපතිවරයා විසින් තමන්ගේ මතය ප්‍රකාශ කරලා තියනවා. මේ ආනයනය කරන ලද රසායනික පොහොර නිසා සෞඛ්‍යයට පරිසරයට වෙන හානි නිසා මේ පාර්ශව දෙකම මත පළ කරලා තියනවා. හැබැයි ඉතිහාසයේ කවදාවත් දේශපාලන පක්ෂ හෝ පරිසරවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගොවීන් මේ පරිසරයට සෞඛ්‍යයට අහිතකර රසායනික පොහොර පිළිබඳ තමන්ගේ මතය ප්‍රකාශ කළේ නෑ. රජය මේ කාබනික කෘෂිකර්මාන්තයට එළැඹීමත් සමගම අපට සිදු වුණා කාබනික පොහොර යම් ප්‍රතිශතයක් ආනයනය කරන්න. මේ ආනයනය කරන ලද පොහොර නවත්වා නැවත රසායනික පොහොර ආනයනය කරවීමේ කුමන්ත්‍රණයක් මේ වෙනකොට දියත් වෙමින් පවතිනවා. ඒ නිසා මේ රසායනික පොහොර ආනයනය කරපු ආනයනකරුවන් විසින් විශාල මුදලක් වියදම් කරලා මේ පුද්ගලයන්ට මුදල් ගෙවලා තමන්ගේ මත ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි රජයක් හැටියට වගකීමෙන් කියනවා රට ඇතුළට ඇතුළත් කරගන්නා කිසිදු කාබනික පොහොර මනුස්ස සත්ත්ව ශාක සඳහා ඒ සුදුසු නැති බැක්ටීරියාවක් තියන කිසිදු පොහොරක් අපි රට තුළට ගන්නේ නෑ. අපේ කොරන්ටයින් ඇක්ට් එක තියනවා, ඒ පනත්වලට නීතින්ට අනුව අපට ඇතුළට ගන්නවා. ඒ නිසා අනියත බියක් ඇති කරගන්න අවශ්‍යතාවක් නෑ. මේ උත්සහ කරන්නේ අපි දෙන්න හදන කාබනික පොහොර නවත්තලා නැවත රසායනික පොහොර මාෆියාවට මේ රට ගෙන එන්න තමයි මේ සියලුදෙනා උත්සහ කරන්නේ

මේ අතර වී මිල අර්බුදය සහ ගොවි විරෝධතා සම්බන්ධයෙන් ද කෘෂිකර්ම අමාත්‍යවරයා අදහස් පළ කළේ ය.

කෘෂිකර්ම අමාත්‍ය, මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

මේ වනවිට වී සම්බන්ධයෙන් ගොවීන් උද්ඝෝෂණ පැවැත්වෙනවා. මේ සියලු උද්ඝෝෂණ පැවැත්වෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරයි. ඒ වගේම මේ රටේ හාල් මාෆියාව තියෙන්නෙත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. ඒ නිසා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න ගොවියන් පමණක් උපයෝගී කරගෙන උද්ඝෝෂණ මාලාවක් පවත්වනවා. උද්ඝෝෂණ සඳහා මුදල් දෙන්නේ කවුද කියලා අපි දන්නවා. මේ උද්ඝෝෂණ කරවන්නේ කවුද කියලා අපි දන්නවා. ගොවින්ට මිලක් එන එක ගැන අපිට කිසි ගැටලුවක් නෑ. අපි කියලා තියෙන්නේ වී සඳහා පාලන මිල විතරයි. එතනින් එහාට වී මිලදී ගැනීම ගැන අපිට කිසි ගැටලුවක් නැහැ. අපි කියන්නේ රුපියල් 55ට අඩුවෙන් නාඩු කිලෝ එකක් ගන්න බෑ කියලා විතරයි. ඒ නිසා වැඩිපුර ගැනීම ගැන අපි කිසිම මෝල් හිමියෙකුට හෝ කිසි කෙනෙකුට අපි දඩ ගහලා නෑ. ඒ නිසා ගොවීන් රජයට ඇඟිල්ල දික් කරන එක වැරදියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here