Home Hit කබ්රාල් මහ බැංකු අධිපති ධුරය භාරගැනීමෙන් පසුදා මූල්‍ය මණ්ඩල ලේකම්වරිය ඉවත් කළේ...

කබ්රාල් මහ බැංකු අධිපති ධුරය භාරගැනීමෙන් පසුදා මූල්‍ය මණ්ඩල ලේකම්වරිය ඉවත් කළේ තවත් කොල්ලයකටයි

72

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ලේකම් කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය පසුගිය 17 වැනිදා එම ධුරයෙන් ඉවත්කොට තිබෙනවා.

මේ ඉවත්කිරීම සිදුව ඇත්තේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරය භාරගැනීමෙන් පසුදායි.

දවුලගල මහත්මිය ඉවත් කිරීම ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය සඳහන් කරන්නේ මෙය තව එක් බැංකු මංකොල්ලයකට මාවත විවෘත කරගැනීමක් බවයි.

ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ලේකම් ධුරයෙන් දවුලගල මහත්මිය ඉවත් කිරීම මහ බැංකු මංකොල්ලකරුවන්ගේ මංකොල්ලකාරී අතීතය වසා ගැනීමේ උත්සාහයක් වන බවද මන්ත්‍රිවරිය සඳහන් කරයි.

බැඳුම්කර ජනාධිපති කොමිසම, ඊ.ටී.අයි. ෆිනෑන්ස් ඉන්වෙස්මන්ට් විගණන, වෝහාරික විගණන මූල්‍ය විනය සම්බන්ධයෙන් සුවිශේෂී වූ විගණනයන් සහ මෑත කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ දැවැන්ත වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් දවුලගල මහත්මිය නිර්භීත ලෙස හා අදීන ලෙස කටයුතු කර ඇති බවත් මන්ත්‍රිවරිය පැවැසුවාය.

දවුලගල මහත්මිය 2010 – 2012 සමයේ ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගමට අදාළ මූලික කටයුතු සිදු කරනු ලැබූ අවධියේ එවකට බැංකු නොවන මූල්‍ය ආයතනය අධීක්ෂණය කිරීමේ අංශයේ ප්‍රධානියාව සිටි අතර ඇය ඊ.ටී.අයි. සමාගම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දැඩි නිර්දේශ ගණනාවක් ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන් කිරීම එවකට මහ බැංකු අධිපති කබ්රාල් ප්‍රතික්ෂේප කර ඇති බවද මන්ත්‍රිවරිය පැවැසුවාය.

2012 අප්‍රේල් මස ඇය වෙනත් දෙපාර්තමේන්තුවකට මාරු කිරීමෙන් ඊ.ටී.අයි. තැම්පත්කරුවන්ට මුදල් අහිමි වූ අතර ඊ.ටී.අයි. ආයතනය සතු සම්පත්, දේපළ බලසම්පන්න පුද්ගලයන් අතට, අත යටින් පත්වී ඇති බවද මන්ත්‍රිවරිය කීවාය.

අර්ජුන මහේන්ද්‍රන් සහ පිරිස විසින් පළමු බැඳුම්කර වංචාව සිදු කිරීමත් සමඟ එහි නිශ්චිත සටහන් ලේඛන ගත කරනු ලැබුවේ දවුලගල මහත්මිය බවත් 2015දී අර්ජුන මහේන්ද්‍රන් විසින් ඇය මහ බැංකු ප්‍රාදේශීය කාර්යාල සම්බන්ධීකරණය සඳහා යැයි කියමින් (පූල් එකට) පැත්තකට කර ඇති බවත් මන්ත්‍රිවරිය පැවැසුවාය.

මහ බැංකුව හා එහි මහජන ධනය කොල්ලකෑමට මහ බැංකු අධිපතිවරුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සම්බන්ධ බව මේ වන විට ස්ථාපිත කරුණක් වී ඇතැයි මන්ත්‍රිවරිය අවධාරණය කර තිබේ.

ඉහත දැක්වූ සත්‍ය ජනාධිපති කොමිෂන් සභාව හමුවේ කරුණු හෙළිදරව් වන විට නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය සිදු කරනු ලැබුවේද මෙම නිලධාරිනිය වන අතර වෝහාරික විගණන වාර්තාව සකස් කිරීම සඳහා මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම, විගණනය සඳහා ටෙන්ඩර් කැඳවීම, ටෙන්ඩර් පිරිනැමීමද කළමනාකරණය කර ඇත්තේද දවුලගල මහත්මිය බව වැඩිදුරටත් පැවැසුවාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here