Home Coronavirus 2020 බාල කොවිඩ් ඇඳුම් සැපයූ සමාගමට ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයෙන්...

බාල කොවිඩ් ඇඳුම් සැපයූ සමාගමට ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයෙන් යළිත් ඇණවුමක්

153

භාවිතයට නුසුදුසු කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කට්ටල ලක්ෂයක් සැපයූ ​පෞද්ගලික සමාගමකට තවත් එම ඇඳුම් කට්ටල ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් පිරිනමනු ලැබ ඇත. ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය මගින් මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා තිබෙනවා.

එම ඇඳුම් කට්ටලයේ අනිවාර්ය අංගයක් වන ජීවානුහරණය කරන ලද අත්මේස් වෙනුවට ජීවානුහරණය නොකරන ලද අත්මේස් සැපයීමට එම සමාගම කළ ඉල්ලීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය අනුමැතිය ලබාදී තිබේ.

සාමාන්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ජීවානුහරණය කළ අත්මේස්, KN95 මුව ආවරණයක් සහ ගුණාත්මක භාවයෙන් යුතු ශරීර ආවරණයකින් ද යුක්ත වෙයි.

එහෙත් මෙම සමාගම මීට පෙර සපයන ලද ආරක්ෂිත ඇඳුම් කට්ටල භාවිතයට නුසුදුසු බවට දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල වෛද්‍ය සැපයීම් අංශයට දැනුම් දී තිබුණි. මෙම ඇඳුම් කට්ටල ඖෂධ නියාමනය, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් අනුමත කර තිබීම ද විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙම ඇඳුම් කට්ටල භාවිතයෙන් ඉවත් කර කොවිඩ් එන්නත් ලබාදෙන සෞඛ්‍ය සේවයන්ගේ භාවිතයට යොදා ගත් බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.

මෙවර ආරක්ෂිත ඇඳුම් කට්ටල ලක්ෂය සැපයීම සඳහා භාරදී ඇති සමාගම පසුගිය යහපාලන සමයේ පිළිකා එන්නත් ආනයනය කිරීමේදී දූෂණ හා වංචාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ සමාගමට අයත් එකක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

දිවයින පුරා පිහිටි රෝහල්වල දෛනික භාවිතය සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල 12,000 කට වැඩි සංඛ්‍යාවක් අවශ්‍ය වෙයි.

මේ වනවිට ආරක්ෂිත ඇඳුම් කට්ටල හිඟයක් පවතින බවත් පවතින තත්ත්වය මත ඇඳුම් කට්ටල ලක්ෂයක් පෞද්ගලික සමාගමකින් ලබාගැනීමට තීරණය කළ බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් එම අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පැවැසීය.

– අරුණ –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here