Home Business ජූලි මාසයේ උද්ධමනය සියයට 6.8 දක්වා ඉහළට

ජූලි මාසයේ උද්ධමනය සියයට 6.8 දක්වා ඉහළට

220

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2021 ජූලි මාසයේදී සියයට 6.8 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහි ම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යාම මෙයට හේතුවී ඇති බවය.

පසුගිය ජූනි මාසයේ මතුපිට උද්ධමනය සියයට 6.1 බව පැවති බව මහ බැංකුව සඳහන් කළේය.

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ දී සියයට 9.8හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 11.0 දක්වා ඉහළ ගිය බවත් ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති සියයට 2.9හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 3.2 දක්වා ඉහළ ගොස් ඇති බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

එමෙන් ම, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2021 ජූලි මාසයේ දී සියයට 5.4හි නොවෙනස්ව පැවතුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර, 2021 ජූලි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස 0.63ක් ලෙස වාර්තා වූ බවත් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහි ම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සදහා හේතු වී ඇති බවත් මහ බැංකුව පෙන්වා දී ඇත.

තව ද ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට 0.37ක් සහ සියයට 0.27ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අනුව, 2021 ජූලි මාසයේ දී ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන්, සීනි, එළවළු, කරවල සහ නැවුම් මත්ස්‍ය මිල ගණන් ඉහළ ගිය අතර පොල් සහ පොල්තෙල් මිල ගණන්හි පහළ යෑමක් වාර්තා වී ඇතැයි මහ බැංකුව පවසයි.

එමෙන් ම, ප්‍රධාන වශයෙන් ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්) සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩවල මිල ගණන්හි සිදුවූ ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2021 ජූලි මාසයේ දී වාර්තා වී තිබේ.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2021 ජූනි මාසයේ දී පැවති සියයට 4.1හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 4.4 දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2021 ජූලි මාසයේදී සියයට 4.4හි නොවෙනස්ව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික වෙනස් වීම පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here