Home Coronavirus 2020 ‘ලංකාවේ නිෂ්පාදනය කරන ඔක්සිජන් ඉදිරියේදී ප්‍රමාණවත් නොවනු ඇත’ – විශේෂඥ වෛද්‍ය ආනන්ද...

‘ලංකාවේ නිෂ්පාදනය කරන ඔක්සිජන් ඉදිරියේදී ප්‍රමාණවත් නොවනු ඇත’ – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

157

මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන ඔක්සිජන් ප්‍රමාණය ඉදිරියේදී ප්‍රමාණවත් නොවනු ඇතැයි කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ, “දෙරණ 360” වැඩසටහනට ඊයේ (16) එක්වෙමිනි.

අගෝස්තු මස 15 වන දා රාත්‍රීය වන විට දැඩි සත්කාර ඒකකවල කොවිඩ් රෝගීන් 188 දෙනෙක් ප්‍රතිකාර ලබන බවද පැවසු වෛද්‍යවරයා, දළ වශයෙන් එම රෝගියෙක් සඳහා දිනකට සියලු දේ සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂයක පමණක් දැරිය යුතු බව ද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ මහතා,

“දවසකට දැඩි සත්කාර ඒකකවල ඉන්න අයට විතරක් යනවා ලක්ෂ 189ක් පමණ අවම වශයෙන්. මේ ලෙඩා පුද්ගලික රෝහලක සිටියහොත් ලක්ෂ 2 හමාරක පමණක් යනවා දවසකට. පීසීආර් පරීක්ෂණයකට යනවා රුපියල් 4,000 – 5,000ක්. රෝගීන් සංඛ්‍යාව වැඩිවෙන කොට බරපතළ අය වැඩිවෙනවා. එවිට මරණ වැඩිවෙනවා. ඒ සඳහා යන වියදමත් වැඩිවෙනවා. එදිනෙදා මිනිස්සු වැඩ කරන්න ඕනේ කියන දේ ඇත්ත. ඔක්සිජන් ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රමාණය දැන් අපට පේනවා මදිවේගන යනවා මේ ඇති වෙන රෝගීන් සංඛ්‍යාවත් එක්ක.”

ප්‍රශ්නය – දැඩි සත්කාර ඒකකවල කොවිඩ් රෝගීන් සඳහා කොපමණ ප්‍රමාණයක් ද ධාරිතාවය තියෙන්නේ වෛද්‍යතුමනි. ?

“මට මතක විදියට 100 – 105ක් විතර. නමුත් අපි අනෙක් රෝගීන් සඳහා වෙන්කරපු දැඩි සත්කාර ඒකකවල ඇඳනුත් අපි කොවිඩ් රෝගීන් සඳහා භාවිත කරන්නට වෙලා තියෙනවා. දැනට තියෙන ප්‍රමාණය තමා මේ 189.”

ප්‍රශ්නය – දැඩි සත්කාර ඒකකයක පහසුකම් ලබාගත නොහැකිව රෝගීන් මියගොස් තිබෙනවා ද?

“තියෙනවා. ඊයේ රෑ රෝහල් ගත කරා ගෙදර ඉදලා ආව කෙනෙක්. එයාගේ ඔක්සිජන් ප්‍රතිශතය 20යි. එයා ඇඳට වෙලා ඉන්නකොට ඒක දැනෙන්නේ නෑ. හොඳට ම අමාරු වුණාම තමා ඒක දැනෙන්නේ. එහෙම කෙනෙක් රෝහල් ගත කරාම අපිට ළඟම දැඩි සත්කාර ඒකකයක් නැත්නම් රෝගියාට කරගන්න දෙයක් නෑ.”

ප්‍රශ්නය – IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඔහුව හෝ ඇයව ඇතුළත් කරන්න රෝහල් ධාරිතාවය ඉඩදුන්නේ නෑ ?

“ඔව් ධාරිතාවය ඉඩ දුන්නේ නෑ. අපිට ගෙනියන්න තිබුණේ ඒ රෝගියාව කිළිනොච්චියට. එතෙන විතරයි දැඩි සත්කාර ඒකකයක් තිබුණේ. ගෙනිච්චානම් මඟ දී ඒ රෝගියා මියයනවා. ඒ රෝගියාට අපි පුළුවන් විදියට ප්‍රතිකාර කළා. නමුත් ඒ රෝගියා මියගියා.”

ප්‍රශ්නය – ඇතැමුන් ඔක්සිජන් ගෙවල්වලට රැගෙන ගොස් ගබඩා කර ගන්නවා.

“මට ඒකට සරලව කියන්න තියෙන්නේ මෝඩ වැඩක් කියලා. ඔක්සිජන් අවශ්‍ය රෝගියෙකුට එක ටැංකියකින් දෙන ඔක්සිජන් ටික මදි. මේ රෝගින් සංඛ්‍යාව අඩුකර ගන්න ඉතාමත් ඉක්මනින් දැඩි පියවර ගන්න ඕනේ. ඒකට පරක්කු ද කියලා හිතෙනවා. නමුත් දැන් හරි ඒක ගන්න ඕනේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here