Home Hit මිනිස්සුන්ට ජීවත් වෙන්න, හුස්ම ගන්න අවස්ථාවක් දිය යුතුයි. තමන්ගේ දේශපාලන අරමුණුවලට යන්න...

මිනිස්සුන්ට ජීවත් වෙන්න, හුස්ම ගන්න අවස්ථාවක් දිය යුතුයි. තමන්ගේ දේශපාලන අරමුණුවලට යන්න එපා – ආචාර්ය හර්ෂ

75

රටේ ආදායමට වඩා මුදල් අච්චු ගහලා ආර්ථිකය ගොඩ දැමීමට නොහැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. 

මන්ත්‍රිවරයා එසේ පැවැසූයේ ඊයේ (08දා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. 

එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීය 

මේ රට කවදාවත්ම නැති විදිහට විශාල අර්බුදයකට ලක් වෙලා. ඒ වගේම Covid-19 අවදානමත් විශාල ලෙස පැතිරිලා. කවදාවත් මේ ආකාරයට රෝහල්වල මිනිස්සු මියයනවා දැකලා නැහැ. මේ වනවිට රත්නපුර රෝහල, කරාපිටිය රෝහල් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා. රෝගීන් තැන තැන වැටී දුක් විඳින අයුරු දැක ඒ තුළින් කාලකණ්ණි සන්තෝෂයක් ලබන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැමෝටම ඒ ගැන දුකයි. විශාල සෞඛ්‍ය ප්‍රශ්නයකට රට මුහුණ දීලා. ලෝකයේ ශීඝ්‍රයෙන්ම පුද්ගලයන් මියයනවා. අපි පිළිගන්නවා එන්නත් වැඩපිළිවෙළ ශීඝ්‍රයෙන් ඉදිරියට යන බව. නමුත් කොවිඩ් ඩෙල්ටා ව්‍යාප්තිය ඊටත් ඉදිරියෙන් යනවා. 

මේ වන විට මරණ සංඛ්‍යාව පන්දාහත් ඉක්මවලා තියෙනවා. අපි දැක්කා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියනවා ඔහුට ඇත්ත කියන්න හැකියාවක් නැහැ කියලා. ඒ වගේ එය දිවයින පුවත්පතට හා අයිලන්ඩ් පුවත්පතට ඔහු කියලා තියෙනවා ඔහුට මින් ඉදිරියට ඇත්ත කියන්න හැකියාවක් නැති වෙනවා කියලා. නමුත්  සත්‍ය එක පැත්තකින් තැබුවාම අනිත් සත්‍ය ඉදිරිපත් කරන්න වෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙනවා. අපි දකිනවා හැමදාම වගේ බඩු මිල ඉහළ යනවා. අනිත් පැත්තෙන් ආදායම කඩා වැටෙනවා. එක දවසක් පොහොර ගේන්න හදනවා, ආයෙත් තහනම් කරනවා.  හැමදාම වගේ බඩු මිල ඉහළ යනවා. 

මේ වන විට සුපිරි වෙළෙඳපොළවල පවා  කිරිපිටි නැහැ. අපි දැක්කා ඉන්ධන නැවක් ඇවිල්ලා එයට මුදල් ගෙවා ගන්න බැරිව සිටියා. පසුව රාජ්‍ය බැංකුවක් මැදිහත්වෙලා එම ගෙවීම් කළා. නමුත් තව සති කිහිපයකට තමයි ඉන්ධන තිබෙන්නේ. අපි දකිනවා ආනයන හිර වෙච්ච නිසා අපනයනවලට පහරක් වැදිලා. 

ආණ්ඩුව දිගින් දිගටම කියනවා සර්ව ආර්ථික ප්‍රශ්නයට විසඳුම ඒ අය ළඟ තිබෙන බව. බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා කියලා තියෙනවා සති කිහිපයකින් එය විසඳන බව. ඔහු කියනවා මීට වඩා අමාරු අවස්ථාවලට ඔවුන් මුහුණ දීපු බව.  අපි විකල්ප ඉදිරිපත් කළා. නමුත් බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාට විකල්ප ඉදිරිපත් කර ගන්න බැරි වුණා. නමුත්  විකල්ප තියෙනවා කියනවා. මොකක්ද විකල්පය කියලා කවුරුත් කියන්නේ නැහැ. ආණ්ඩුව දැඩි මතයක ඉන්නවා එක පැත්තකින් ඩෙල්ටා කොච්චර ව්‍යාප්ත වුණත් අපි රට වහන්නේ නෑ කියලා. මේ වන විට විශාල ලෙස ව්‍යාප්ත වෙලා නැති වුණාට මේ වන විට නගර කිහිපයක්ම අතිශයින්ම අවදානමට ලක්වෙයි කියලා හදිසි තීරණ චීනය ගනිමින් සිටිනවා.  

මේ වනවිට දියුණු රටවල් පවා ලොක්ඩවුන් කරලා. නමුත් අපේ රට ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය නිසා එසේ කරන්නේ නැහැ කියනවා. 

ආණ්ඩුව තවත් දැඩි මතයක සිටිනවා ආනයන නතර කරලා පොහොර නතර කිරීම ගැන. කාබනික වගාවට හුරු කරලා සම්පූර්ණ විපර්යාසයක් රටේ ඇති කරලා ලෝකයෙන්ම අංක 1 ගන්න මතයක ඉන්නවා. ආනයන සීමා කරල පසුගියදා ගැසට් එකක් ගහලා එය එහාට මෙහාට කරන්න ගියා. පසුව ලොකු ගැටලුවක් ආපු බවක් පේනවා. දැන් කියනවා තෝරා ගත්ත ඛනිජමය පොහොර පමණයි ගේන්නේ කියලා. 

ආණ්ඩුව දැඩි මතයක ඉන්නවා මොනවා වුණත් ගෙවන්න තිබෙන ණය ප්‍රමාණය කළමනාකරණය කරගන්න, ප්‍රතිව්‍යුහගත  කරගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්  එක්ක කිසිම සාකච්ඡාවක් කරන්නේ නැහැ කියලා. එහිදී කියපු කාරණා තුනටම ආණ්ඩුව විකල්පයක් ඉදිරිපත් කර නැහැ. 

ආණ්ඩුව තමයි අද රට පාලනය කරන්නේ.  විපක්ෂයේ අපට දෙන්න පුළුවන් සියලුම සහයෝගය අපි ලබා දෙනවා මේ ජනතාව වෙනුවෙන්. වැරැද්දක් වුණාම ඒ වැරැද්ද තේරුම් ගත යුතුයි. පසුව එය නිවැරදි කළ යුතුයි. ආණ්ඩුව කල්පනා කළා විශාල බදු සහනයක් දීලා 2019දී ආර්ථිකය නැවතත් පණ ගන්නවා කියලා. හැබැයි ඒක මඟදී වෙනස් කළ යුතුව තිබුණා. ඒ කොරෝනා වයිරසය නිසා මේ දැඩි මතයෙන් ඉවත් විය යුතුයි. නැත්නම් ජනතාවට විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදුවනවා. අපිටත් ඕන රටේ ආර්ථිකය ගොඩදාන්න. නමුත් මිනිස්සු මැරිලා වැටෙනවා නම් ආර්ථිකය ශක්තිමත් විය යුතු ගමනේ ගිහින් අපිට ආර්ථිකයත් නැති වෙනවා. මිනිස්සුත් නැති වෙනවා. එසේ නම් මොකක්ද අපේ මූලික දේ විය යුත්තේ? 

රජයට අපි බල කරනවා ජනතාව තවදුරටත් අමාරුවේ දාන්නේ නැතිව කරුණාකරලා දැඩි මතයෙන් අයින් වෙලා යථාර්ථය තේරුම් අරගෙන ජනතාව වෙනුවෙන් කරුණාකරලා මේ යන ගමන පොඩ්ඩක් හෝ වෙනස් කරගෙන   මිනිස්සුන්ට ජීවත් වෙන්න, හුස්ම ගන්න අවස්ථාවක් දිය යුතුයි. තමන්ගේ දේශපාලන අරමුණුවලට යන්න එපා. මේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම් ටිකක් කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලනවා.

රට අරින්නේ ආර්ථිකය ශක්තිමත් කරන්න.  නමුත් වෙන්නේ කොවිඩ් එක වැඩි වෙන එකයි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික අර්බුදය සති කිහිපයකින් ගොඩදාන බව කිව්වත් කරන විදිහ කියන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here