Home Hit ගුවන් හමුදා මූලස්ථාන භූමියට ඕමානය බැල්ම හෙළයි – කොළඹ තවත් ඉඩම්වලට ඉව...

ගුවන් හමුදා මූලස්ථාන භූමියට ඕමානය බැල්ම හෙළයි – කොළඹ තවත් ඉඩම්වලට ඉව අල්ලයි

594

කොළඹ 02 ප‍්‍රදේශයේ පිහිටි ගුවන් හමුදා මූලස්ථාන භූමියත්, කොළඹ කොටුවේ පිහිටි, නාගරික සංවර්ධන මණ්ඩලයට අයත් චාමස් ධාන්‍යාගාර භූමියත් මිලට ගැනීමට හෝ බදු පදනමක් මත හෝ ලබාගෙන ආයෝජන ව්‍යාපෘතියක් දියත් කිරීමට ඕමානයේ රජය කැමැත්ත පළකර තිබේ.

මේ අනුව චාමස් ධාන්‍යාගාර භූමියේ බහුවිධ සංවර්ධන ව්‍යාපෘතියක් කිරීමට ශක්‍යතා වාර්තාවක් පිළියෙළ කිරීම සඳහා නියෝජිත කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට එවීමට ඕමාන රජය තීරණය කර ඇත. මේ සඳහා දැනටමත් සරල ගිවිසුමක් අත්සන් කොට තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය තමන් සතු ඉඩම් වලින් වැඩි කොටසක් අවුරුදු තිහේ සිට අවුරුදු අනූ නවය දක්වා වූ බදු පදනමක් මත ආයෝජකයන්ට ලබාදීමට අදහස් කොට ඇත. මේ අනුව බේරේ වැව දෙපස ඉඩම් ගැනද ඕමාන රජයේ අවධානය යොමුවී තිබේ.

කොළඹ කොටුවේ පිහිටි චාමස් ධාන්‍යාගාර භූමිය දිගු කාලීන හෝ කෙටි කාලීන බද්දක් මත ආයෝජකයන්ට ලබාදීමේ අදහසක් වසර 2010 සිට පැවති රජයන්ට තිබූ නමුත් එම ඉඩම බදු දීමට මෙතෙක් හැකිව නැත.

මේ අතර මෙසේ කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් බදු දීමට තවත් ඉඩම් කිහිපයක් විවෘතව පවතී. බොරැුල්ලේ වැලිකඩ හිරගෙදර භූමිය, ශ‍්‍රී ලංකා ට‍්‍රැක්ටර් සංස්ථා භූමිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තු භූමිය, නාරාහේන්පිට මිල්කෝ සමාගම පිහිටි භූමිය, ඞී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන සහ උත්සව මධ්‍යස්ථානය, සී. ඩබ්ලිව්. මැකී සමාගම පිහිටි භූමිය, සතොසට අයත් ඉඩම් දෙකක් ද, ඞී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මහජන බැංකු පුහුණු මධ්‍යස්ථානය යනාදියද බදු පදනම මත ලබාදීමට විවෘතව පවතී.

මේ අතර කොළඹ ආශ‍්‍රිතවත් බත්තරමුල්ල ආශ‍්‍රිතවත් පිහිටි රජයේ ඉඩම් ගණනාවක්ම බහු මහල් රථ ගාල් සඳහා බදු දීමට දැනටමත් කටයුතු යොදා ඇත.

– දිවයින –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here