Home Hit අද සිට ඇරඹෙන ටෝකියෝ ඔලිම්පික් වසන්තය (PHOTOS)

අද සිට ඇරඹෙන ටෝකියෝ ඔලිම්පික් වසන්තය (PHOTOS)

238

ලෝක ක්‍රීඩාවේ මෞලි මංගල්‍ය ලෙසින් සැලකෙන 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල අද (23 වැනිදා) ආරම්භ වීමට නියමිතය.
මෙම ඔලිම්පික් උළෙල ඉකුත් 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණද කොවිඩ් අවදානම මත වසරකින් කල් දමන්නට ටෝකියෝ ඔලිම්පික් උළෙල සංවිධායකයින් පියවර ගත්තේය.

‘හැඟීමෙන් එක්සත්ව’ යන තේමා පාඨය පෙරදැරිව 11000කට අධික ක්‍රීඩක සහ නිලධාරී සහභාගිත්වයකින් 32 වැනි ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතය. කොවිඩ් තත්ත්වය මත එය අවලංගු කිරීමට පෙරදී යෝජනා වුවද මෙම උළෙල කෙසේ හෝ පැවැත්වීමේ වගකීම ජපානය විසින් භාරගත් අතර පසුව එය නැවත මෙම වසරේදී පැවැත්වීමට කටයුතු යෙදිණි.

ක්‍රීඩාංගණ සහ සමාරම්භය

2020 ඔලිම්පික් උළෙලේ ප්‍රවේශපත් සියල්ල ඉකුත් 2019 වසරේදී දෙසැම්බර් වන විටම විකිණී අවසන් වූ බවට එරට මාධ්‍ය වාර්තා කළ නමුත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් බොහෝදෙනාට එම ප්‍රවේශපත් අවලංගු කිරීමට ටෝකියෝ සංවිධායකයින් අවසර ලබා දී තිබුණි. එය ඔලිම්පික් ඉතිහාසයේ පළමු වරට සිදු වූ අතර මෙලෙස ඔලිම්පික් උළෙලක් දින නියම කර තිබියදී කල් දැමුණු පළමු අවස්ථාවද මෙය වේ. පසුව ටෝකියෝ සංවිධායකයින් විසින් තෝරා ගත් තරග ඉසව් කිහිපයක් සඳහා 50%ක ප්‍රේක්ෂක සංඛ්‍යාවකට අවස්ථාව ලබාදීමට කටයුතු කර තිබුණු අතර ඒ සියලු දෙනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අය වීම අත්‍යවශ්‍ය විය.

නමුත් නැවත ටෝකියෝ නුවරට බලපෑ අවදානම් තත්ත්වය මත සමාරම්භක උළෙලද ඇතුළුව සෑම තරග ඉසව්වක්ම ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට තීරණය විණි. මෙවර ඔලිම්පික් උළෙලේ ප්‍රධාන ක්‍රීඩාංගණය ලෙසින් ටෝකියෝහි ඔලිම්පික් ක්‍රීඩාංගණය සූදානම් කර ඇති අතර එය හැරුණු විට ෆුකුෂිමා වැනි තවත් ක්‍රීඩා පිටි කිහිපයකම තරග පැවැත්වීමට නියමිතය.

ධජය රැගෙන යෑම

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා ධජය රැගෙන යෑමේ වගකීම ක්‍රීඩකයෙකුට සහ ක්‍රීඩිකාවකට ලබාදීමට එරට සංවිධායකයින් පියවර ගෙන තිබේ. ඒ සමානාත්මතාවය පදනම් කර ගනිමිනි. ඒ අනුව ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන සහ මිල්කා ද සිල්වා සමාරම්භක උළෙලේ දී මෙවර ශ්‍රී ලංකා ධජය රැගෙන යති.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඒ අයට වෙන්වූ නගරය

මෙවර ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන සෑම කණ්ඩායමකටම වෙන්වූ සත්කාරක නගරයක් ප්‍රකාශයට පත් කරන්නට ටෝකියෝ සංවිධායකයින් පියවර ගෙන තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාවට ජපානයේ ‘සම්මු’ නුවර වෙන්ව තිබේ. ශ්‍රී ලංකාවෙන් සහභාගි වන 9 දෙනෙකුගෙන් යුත් මලල ක්‍රීඩා සංචිතය සිය පෙර සූදානම් වීම් මෙම නගරය ආශ්‍රිතව සිදු කළ යුතු විය. එම නගර වැසියන්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය උපරිම සත්කාරය ලබාදී තිබෙනු දක්නට ලැබිණි.

Meet The Sri Lankan Team For 2020 Summer Olympics In Tokyo

ඉකුත් 2016 වසරේ පැවති රියෝ ඔලිම්පික් උළෙලටද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූ අතර එහිදී සහභාගීවූවන් අතුරින් මෙම වසරේදීද ඔලිම්පික් නියෝජනයට වරම් ලැබුණේ නිලුක කරුණාරත්න, චාමර ධර්මවර්ධන සහ මැතිව් අබේසිංහ පමණි.

ඔලිම්පික් ගම්මානයේ සැකැස්ම

No Tokyo 2020, what to do with Athletes' Village? - Asia Times

මෙවර ඔලිම්පික් ගම්මානය වෙනදාට වඩා සෞඛ්‍යාරක්ෂිත වන අතර එහි සියලු නිර්මාණ ඉවත ලන ද්‍රව්‍ය සහ කාඩ්බෝඩ් යොදාගෙන සිදුකර තිබීම විශේෂත්වයකි. මෙම නගරයේ වෙසෙන සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකම දිනපතා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුවිය යුතු අතර කිසිම හේතුවක් මත ඔලිම්පික් ගම්මානයෙන් පිටස්තර පුද්ගලයෙකු හෝ සමග සම්බන්ධ වීමේ අවස්ථාව නොලබෙනු ඇත. මෙහි ආහාර ගැනීම පවා එක්ව සිදු කිරීම තහනම් කර ඇති අතර දෙවන ලෝක යුද සමයේදී හෝ මෙවැනි නීති පද්ධතියක් යටතේ ඔලිම්පික් පවත්වා නොමැති වීම විශේෂත්වයකි.

කොවිඩ් ආසාදිත වුවහොත්

මෙවර ඔලිම්පික් උළෙලේදී අවම වශයෙන් ක්‍රීඩකයන් 1%ක් හෝ ආසාදනය විය හැකි බවට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණු හෙයින් පූර්ව සූදානමකින් පසුවේ. ඒ අනුව ඔලිම්පික් ගම්මානයේදී කොවිඩ් ආසාදනය වන්නන් සෘණාත්මක කොවිඩ් වාර්තා දෙකකින් අනතුරුව තරගවලට එක් කරනු ලබන අතර අවසන් පූර්ව වටයේදී කොවිඩ් ආසාදනය වන ක්‍රීඩකයන් හට සැනසිලි ජයග්‍රහණ පිරි නැමීමේද සූදානමක් පවතින බව සඳහන් වේ.

ඔලිම්පික් පදක්කම් සැකැස්ම

මෙවර ඔලිම්පික් උළෙලේ බොහෝ ඉදිකිරීම් හා නිර්මාණ කටයුතු සඳහා යොදා ගෙන ඇති අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඒවා වන අතර ජයග්‍රහකයින්ට පදක්කම් පැලඳවීමට යොදා ගන්නා වේදිකාව නිර්මාණය කර තිබෙන්නේද ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික්වලිනි.තවද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන පදක්කම් ද භාවිතයෙන් ඉවතලන ජංගම දුරකථනවල අඩංගු ලෝහවලින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වන අතර ඒ සඳහා ජංගම දුරකථන මිලියන 6ක් පමණ යොදාගත් බව වාර්තා වේ.

No photo description available.

අපේ අය දිනූ ඔලිම්පික් පදක්කම්

ශ්‍රී ලංකාව ඔලිම්පික් ඉතිහාසයේදී රිදී පදක්කම් දෙකක් දිනා ඇති අතර ඉන් පළමු ඔලිම්පික් පදක්කම 1948 වසරේදී මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේදී ඩන්කන් වයිට් විසින් දිනා තිබේ. 2000 වසරේ සිඩ්නි හිදී පැවති ඔලිම්පික් උළෙලේදී මීටර් 200 ඉසව්ව වෙනුවෙන් සුසන්තිකා ජයසිංහ රිදී පදක්කමක් දිනා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ලොව ඔලිම්පික් පදක්කම් දිනූ ශ්‍රේණිගත කිරීමේ 114 වැනි ස්ථානයේ රැඳී සිටී.

අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග දිනයන්

Meet The Sri Lankan Team For 2020 Summer Olympics In Tokyo

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවර ඔලිම්පික් උළෙලේ පළමුව තරග බිමට පිවිසෙන්නේ ටෙහානි එගොඩවිලය. රයිෆල් වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවිලද හෙට දිනයේදී (24 වැනිදා) තරග බිමට පිවිසෙන අතර ඇය මීටර 10 වායු රයිෆල් කාන්තා වෙඩි තැබීමේ මූලික වටයේ තරගය සඳහා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.00ට සහභාගි වීමට නියමිතය

බැඩ්මින්ටන් ඉසව්ව වෙනුවෙන් නිලුක කරුණාරත්නද හෙට දිනයේ තරග වැදීමට නියමිතය. කේවළ පිරිමි බැඩ්මින්ටන් තරග ඉසව්වේ මූලික වටයේ ‘එෆ්‘ කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය පැවැත්වේ. මෙම තරගයේදී නිලුක චීන තායිපේ හි වැන්-සු-වී සමගින් තරග වැදීමට නියමිතය. එය හෙට (24 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.30ට පැවැත්වෙනු ඇත. පිහිනුම් ක්‍රීඩිකා අනිකා ගෆුර් සිය මීටර 100 සමනල ආර ඉසව්ව සඳහා එම දිනයේදීම සවස 3.50ට සහභාගි වීමට නියමිතය.

– චතුර රණසිංහ –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here