Home Hit ගම්මන්පිලගේ අමාත්‍යංශයේ ණය ගෙවන්න ඩොලර් බිලියනයක විදේශ ණයක් ගන්න සැරසෙයි – ඉඩමුත්...

ගම්මන්පිලගේ අමාත්‍යංශයේ ණය ගෙවන්න ඩොලර් බිලියනයක විදේශ ණයක් ගන්න සැරසෙයි – ඉඩමුත් උගසට..?

651

උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා අමාත්‍යධූරය දරන බලශක්ති අමාත්‍යංශයේ ණය පියවීම සදහා විදේශ  බැංකුවකින් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ගැනීම සදහා රජයේ අවධානය යොමුවී ඇතැයි  “සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා කර තිබේ. 

බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා මහතාගෙන් “සන්ඩේ ටයිම්ස්” පුවත්පත කල විමසුමකදී, මෙම ණය මුදල  ලබාගෙන අමාත්‍යංශය යටතේ ඇති  ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මහජන බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන් ලබාගෙන ඇති ඇමරිකානු ඩොලර් මිලියන 2081ක ණය මුදල පියවීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත. 

මේ වනවිටත් ණය ලබාදෙන විදේශ ආයතන 09කින් මේ සදහා ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර එම ඉල්ලීම් ඇගයීමට ලක්කිරීම සදහා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්, මහභාන්ඩාගාරයේ අතිරේක ලේකම්  සමන් ප්‍රනාන්දු සහ  ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික රුවන් මඩිහහේවා යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර  එළඹෙන සතියේදී එම ඇඟයීම් කටයුතු ඇරඹීමට නියමිතව ඇත. 

බලශක්ති අමාත්‍යංශය විසින් මින් පෙරදී ස්ටේට් බෑන්ක් ඔෆ් ජපෑන් සහ ස්ටේට් බෑන්ක් ඔෆ් චයිනා යන බැංකු ද්විත්වයෙන් 3%ක පොළී අනුපාතයක් යටතේ ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ණය වශයෙන් ලබාගැනීමට ඉල්ලීමක් සිදුකලද, ශ්‍රී ලංකාවේ පවතින අයහපත් මූල්‍ය තත්වය සැලකිල්ලට ගෙන එම ආයතන විසින් ණය ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයිද අනාවරණය වී තිබේ. පසුව වෙනත් ආයතන විසින් ණය ලබාදීමට කර ඇති ඉල්ලීම් සළකා බැලීමට අමාත්‍යංශය තීරණය කර ඇත. 

ඇමරිකානු ඩොලර් බිලියනයක ණයක්  ගැනීම සදහා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කල යෝජනවට කැබිනට් අනුමැතියද හිමිවී තිබේ.

ලංකා බැංකුව සහ මහජන බැංකුව විසින් ඛනිජ තෙල් මිලදී ගැනීම සදහා එම සංස්ථානවට ලබාදී ඇති ණය සදහා 5.5%ක පොලියක් අයකරන අතර ඊට වඩා අඩු පොලියකට සහ වසර 10ක ආපසු ගෙවීමේ කාලයකට මෙම ණය මුදල ලබාගැනීමට රජය බලාපොරොත්තු වේ.  එහිදී ශ්‍රී ලංකා මහබැංකුවේ ඇපවීමක් අදාළ ආයතන වෙත ලබාදිය යුතු වේ. 

නම් සදහන් නොකල ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරියෙකුට අනුව,  දැනටමත්  රාජ්‍ය බැංකු දෙකක් සදහා  ඩොලර් මිලියන 2081 ක ණයක් ඇති ආයතනයකට ණයක් ලබාගැනීමට  මහබැංකුවේ ඇපවීම පමණක් ප්‍රමානවත් නොවන නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉඩම් පවා ඇපයට තැබීමට රජයට සිදුවිය හැක. 

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව  මේ වනවිට රුපියල් බිලියන 635ක් (ඇමරිකානු ඩොලර් මිලියන 3355ක්) ණය වී ඇති අතර  ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 1075 මහජන බැංකුවටත් , ඇමරිකානු ඩොලර් මිලියන 1006  ලංකා බැංකුවටත්,  පිළිවෙලින් පෙරකී බැංකු ද්විත්වය හරහා තෙල් ලබාගැන ඇති සැපයුම්කරුවන්ට ඇමරිකානු ඩොලර් මිලියන 597ක් සහ 677 ක් ගෙවිය යුතුව තිබේ. 

2020 වසරේ දෙසැම්බර් 31 වන දිනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 275 කි. 

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය  රුපියල් බිලියන 151ක්,  ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 82ක් සහ තවත් විදුලි බලාගාරයක් රුපියල් බිලියන 12ක්  ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත මුදල් ගෙවිය යුතුව තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here